එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා වෙන් වූ ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව හඳුන්වා දෙයි

Share

මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දී ඇත.

මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින් සඳහා නොමිලේ වන අතර අනෙකුත් ජංගම දුරකථන ජාල පරිශීලකයින්ට ද ඊට ප‍්‍රවේශ විය හැකිය. අවශ්‍ය වූ විටෙක පරිශීලකයා සිදු කළ යුත්තේ 1926 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම පමණක් වන අතර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු විසින් මෙයට ක්ෂණික ප‍්‍රතිචාරයක් ලබා දෙනු ඇත.

ඉංග‍්‍රීසි, සිංහල හා දමිළ යන භාෂා ත‍්‍රිත්වයෙන්ම සේවය ලබා ගත හැකි වෘත්තීයමය මනෝ උපදේශකවරුන් වෙත පරිශීලකයින් සම්බන්ධ කරමින් ඔක්තෝම්බර් 10 වනදාට යෙදී තිබෙන 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීමට සමගාමීව මෙම කෙටි පණිවිඩ සේවාව මුළු දිවයින පුරා ක‍්‍රියාත්මක වනු ඇත.

එයාර්ටෙල් විසින් නිර්මාණය කරන ලද 1926 කෙටි පණිවිඩ පදනම් කරගත් මෙම උපකාරක සේවාව මගින් සමාගම බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාව ඉතා අවදානම් කාලයක් අත්විඳින විට හා නොදන්නා පරිසරයක් තුළ ආරක්ෂිතව ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු අවම කරගැනීමට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම සඳහා වෘත්තීය මනෝ උපදේශකයින් වෙත යොමු වීමට ඔවුන්ව දිරිමත් කිරීමයි.

එයාර්ටෙල් සමාගමට අයත් Airtel Blue Jeans වීඩියෝ සම්මන්ත‍්‍රණ මෙවලම ඔස්සේ් සම්බන්ධ වෙමින් මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දැක් වූ එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘තරුණ ප‍්‍රජාව ඩිජිටල් තාක්ෂණයන් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වීම නිසා ඉගෙනීම, සමාජගතකරණය හා සන්නිවේදනය යන අංශ වෙනසකට ලක්වෙමින් තිබෙනවා. අපගේ ජංගම දුරකතන සන්නාමය තරුණ ශ්‍රී ලාංකිකයන් සමඟ දැඩි ලෙස බැඳී තිබීමත් ඔවුන් ඩිජිටල් වේදිකාවල සැරිසරමින් විසඳුම් සොයමින් ඒවා භාවිතා කිරීමට කැමැත්තක් දක්වන බව අප හොඳින් දන්නවා. එයාර්ටෙල් හිදී, අප සෑම විටම මානුෂීය අවශ්‍යතා සමඟ තාක්ෂණය මිශ‍්‍ර කරමින් අපගේ පාරිභෝගිකයින් සඳහා අර්ථවත් සබඳතා නිර්මාණය කර ගත හැකි ක‍්‍රමවේද පිළිබඳව සොයා බලනවා, මෙම වැඩසටහන ද ඉන් එකක්.’’ යනුවෙන් පැවසුවේය.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය, පුෂ්පා රණසිංහ මහත්මිය ‘‘2018 දී 1926 විශේෂිත දුරකතන අංකය හඳුන්වා දීමත් සමඟ කාංසාව, විශාදය හා මානසික ආතතිය හා වෙනත් මානසික සෞඛ්‍ය ගැටළුවලට අවශ්‍ය උපකාර ලබා ගැනීම සඳහා පුද්ගලයින්ගෙන් ලැබෙන ඇමතුම් සංඛ්‍යාව ක‍්‍රමයෙන් වැඩි වී තිබෙනවා වගේම එහිදී අප ඔවුන්ව ආසන්නතම උපකාරක මධ්‍යස්ථානය වෙත යොමු කරනවා.’’

‘‘ජංගම දුරකතන හා කෙටි පණිවිඩ හුවමාරු කිරීම විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාව අතර කැමතිම සන්නිවේදන මෙවලම බවට පත් වෙමින් ජංගම දුරකතනවලටම වෙන් වූ සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත වන වෘත්තිකයින් ලෙස අපට අන් කවරදාකටත් වඩා තාක්ෂණය මත යැපීමේ අවශ්‍යතාවය වැඩි වී තිබෙන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස, උපකාර අවශ්‍ය පුද්ගලයින්ට ඒ සඳහා ප‍්‍රවේශ විය හැකි වැඩි දියුණු කළ ක‍්‍රම සොයා ගැනීමට අපට හැකි වී තිබෙනවා. 1926 ක්ෂණික ඇමතුම් සේවාව කෙටි පණිවිඩ පදනම් කරගත් සේවාවක් දක්වා දියුණු කිරීමට උපකාර කිරීම ගැන එයාර්ටෙල් සමාගමට අප ස්තූතිවන්ත වනවා.’’ යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මානසික සෞඛ්‍යයේ ඇති වැදගත්කම පිළිබඳව පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සමඟ මෙම උත්සවයේ වැඩ කටයුතු අවසන් විය. මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ මානසික සෞඛ්‍ය උපදේශකවරියක වන ශනුකි ද අල්විස් විසින් වන අතර ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය, පුෂ්පා රණසිංහ, මනෝ වෛද්‍ය, නිවෙන්ද්‍ර උඩුමාන් සහ එයාර්ටෙල් ලංකා හි මානව සම්පත් ප‍්‍රධානී, කනිෂ්ක රණවීර යන මහත්ම මහත්මීන් මෙම සැසිය සඳහා සහභාගී විය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් 1926 ක්ෂණික ඇමතුම් සේවාව 2018 වසරේ ආරම්භ කරන ලද්දේ සංවේදී හා මානසික පීඩාවලින් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීමේ අදහස සමඟ වැඩිවන මහජන සෞඛ්‍ය ගැටළුවලට සුදුසු විසඳුම් සෙවීමේ සාමූහික ප‍්‍රයත්නයක කොටසක් ලෙසය.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top