නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා FASTFIX යෙදවුම හඳුන්වා දෙයි

Share

ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ඇන්ටන් සමාගම හා අත්වැල් බැඳගනිමින් දියත් කෙරෙන මෙම FASTFIX app යෙදවුම මේ වනවිටත් ජලනල අලුත්වැඩියා සේවාවන් වෙත ප්‍රවේශ වීමට පාරිභෝගිකයින් හට පහසු අවකාශයක් සලසා දෙමින් තිබේ. මෙමගින් පරිශීලකයින්ට ආසන්නයෙන්ම ඇති සේවා සපයන ස්ථාන පහසුවෙන් සොයා ගැනීමටත්, සිය අවශ්‍යතාව ඉටු කර දීමට වඩාත්ම සුදුසු සේවා සපයන්නා හා සම්බන්ධ වීමටත්, එමගින් වඩා තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමටත් හැකියාව සැලසේ.

මෙම නවෝත්පාදන යෙදවුම අනුවාද දෙකක් ලෙසින් නිර්මාණය කර ඇත. ඉන් එකක් පාරිභෝගිකයින් සඳහා වන අතර එහිම අනෙක් යෙදවුම සේවා සපයන්නන් සඳහා ය. පාරිභෝගිකයෙකු තමා ආසන්නයෙන්ම ඇති සේවා සැපයුම්කරුවෙකු තෝරාගත් විටෙක, එම සේවා සැපයුම්කරුට තම යෙදවුම වෙත ක්ෂණික පණිවිඩයක් ලැබෙන අතර, යෙදවුමේ අභ්‍යන්තර ශ්‍රව්‍ය, දෘශ්‍ය ඇමතුම් ක්‍රම මගින් සේවාලාභියා හා සම්බන්ධ විය හැකිය. මෙම යෙදවුම මගින් දැනට ජලනල කාර්මික කටයුතු කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, විදුලි කාර්මික සේවා සපයන්නන්, වඩු කාර්මික සේවා සපයන්නන්, වායුසමීකරණ යාන්ත්‍රිකයන් සහ තවත් බොහෝ පුහුණු සේවා සපයන්නන්ගේ සේවය ලබා ගැනීම සඳහා FASTFIX සමාගම් සමග අත්වැල් බැඳ ගනිමින් සිටියි.  

මෙම යෙදවුමේ ඇති වීඩියෝ ඇමතුම් පහසුකම මගින් පරිශීලකයාට තම අවශ්‍යතාවය සේවා සැපයුම්කරුට පැහැදිලි කළ හැකි අතර, එය සුළු ගැටළුවක් නම් එය පාරිභෝගිකයා විසින්ම විසඳා ගත හැකි පරිදි අවශ්‍ය උපදෙස් ලැබේ. සේවාසපයන්නන් හට, සේවාලාභීන්ගේ ඉල්ලීම පරිදි අවශ්‍ය ස්ථානය වෙත ගොස්, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කර දීමටද මේ හරහා හැකියාව පවතී. සේවා සපයන්නන්ට ඔවුන් සිටිනා ස්ථානය දැන ගැනීම පහසු කරලීම පිණිස පරිශීලකයින්හට තොරතුරු ගොනුවක් පවත්වා ගෙන යාමටද, දෙපාර්ශවයේම පහසුව පිණිස පැමිණීමේ වේලාවන් උපලේඛනගත කිරීමටත් හැකි වේ.

නවතම FASTFIX යෙදවුම පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කරමින් එහි මෙහෙයුම් අංශ ප්‍රධානී ක්‍රිෂාන්ත පතිරාජ මහතා මෙලෙස සඳහන් කළේය.

ජලනල කාර්මික ගැටලු, විදුලි රැහැන් සම්බන්ධ ගැටලු හෝ නිවාස සම්බන්ධ වෙනත් අලුත්වැඩියා සම්බන්ධ ගැටලු ඇතුළුව, නිවාස අලුත්වැඩියා සම්බන්ධ ඕනෑම ගැටලුවකට විසඳුම් සපයමින් FASTFIX ඇප් එක දියත් කිරීමට ලැබිම පිළිබඳව අපි අතිශයින් ආඩම්බරයට පත් වෙනවා. මෙවැනි කාර්යයන් සෑම අයකුටම සිදුකිරීමට හැකියාවක් නොමැති නිසා, දැනුම හා පළපුරුද්ද සහිත වෘත්තිකයින්ගේ සේවය ලබා ගැනීම වඩාත් සුදුසු හා ආරක්ෂිත කාරණයක්. කෙසේ වෙතත්, වර්තමානයේ එවැනි කාර්යයන් සඳහා වඩාත් සුදුසුම පුද්ගලයින් සොයා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක්. ඒ වගේම ගෙවන මිල සම්බන්ධයෙන්ද බොහෝ ගැටලුවලට මුහුණ දීමට සේවාලාභීන්ට සිදු වෙනවා. මේ වගේ කාරණා ඇප් එකක සහයෙන් කරගැනීමට හැකි යැයි කිසිවෙකුට කල්පනා වුණේ නැහැ. ඒත් දැන් FASTFIX ඩවුන්ලෝඩ් කර ගත් සැණින් අපේ ඇඟිලි තුඩු අගට එන මේ පහසුකම මගින් පහසු හා ලාභදායී සේවාවන් සලසා ගැනීමට දැන් හැකියාව පවතිනවා.”

මෙම යෙදවුම මගින් එහි සේවා සපයන්නන් වන ජලනල කාර්මිකයින්ගේ වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද මේ වන විටත් පරීක්ෂා කර ඇති අතර, ඔවුන් සඳහා තවදුරටත් නිරන්තර පුහුණුව ලබා දෙන බවට යෙදවුම සහතික වෙයි.

තවද, අළුත්වැඩියාවන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීම පරිශීලකයින් හට පහසු කරමින්, ළඟම ඇති ඇන්ටන් නිෂ්පාදන අලෙවිසැල සොයා ගැනීම සඳහා විශේෂාංගයක් ඇතුළුව තවත් විශේෂාංග මෙම යෙදවුමට එකතු කිරීමට අපේක්ෂිත අතර, ඉන් අමුද්‍රව්‍ය ඇණවුම් කර විශේෂ මිල ගණන් යටතේ මිලදී ගත හැකිය.

 “නැවතත් රැකියාවන් කරා යොමු වීමට වඩාත් අවශ්‍ය වන දෛනික වැටුප් ලබන පිරිස් කරා සේවාවන් ව්‍යාප්ත කිරීමට ලැබීම ඉමහත් සතුටක්. විශේෂයෙන්ම FASTFIX සමග කටයුතු කිරීමට ලැබීම පිළිබඳව, සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරය සතුටට පත් වෙනවා.” යනුවෙන් සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජීවන් ඥානම් මහතා පවසයි.

කොවිඩ් 19 වංසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පළමු කණ්ඩායම ලෙස දෛනික වැටුප් ලබන බොහෝ පිරිසකට සුවිශාල මුල්‍ය අර්බුදවලට මුහුණ දීමට සිදු විය. එලෙස සිය රැකියා අහිමි වූ පිරිසට මෙම යෙදවුම මගින් රැකියා අවස්ථාවන් සොයා ගැනීමට හා අඩුම තරමේ දෛනික ආදායම උපයා ගැනීමට හෝ අවස්ථාව සැලසේ. FASTFIX යෙදවුම ඔවුන් නිරතුරුවම කාර්යයෙහි නිරත කරමින්, සපයන සේවාවන්ගේ ගුණාත්මකභාවය අනුව, නිරන්තරයෙන් වැඩ සොයා ගැනීමට හැකියාව සලසා තිබේ. ඒ අනුව මෙම යෙදවුම රටෙහි බොහෝ පිරිසකට නැවතත් මූල්‍යමය අතින් ශක්තිමත් වීමට සුවිශාල දායතක්වයක් දක්වයි.

FASTFIX හට සිය වෘත්තීකයින්ගේ කටයුතු හඳුනා ගැනීමටත් තවදුරටත් උසස් සේවාවන් සැලසීම සඳහා ඔවුන් දිරිගැන්වීමටත්, සේවාවන් අගය කළ හැකි විශේෂාංගයක්ද මෙම යෙදවුමේ පවතී. දැනට සේවාලාභීන් හා සේවා සපයන්නන් සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මකව පවතින FASTFIX යෙදවුම Android Play Store මගින් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, iOS  සඳහා නවතම FASTFIX යෙදවුමක් ඉදිරි මාස කිහිපය තුළ එළිදැක්වීමටද නියමිතය.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top