ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, SLIM DIGIS 2.0 සම්මාන උළෙල යළි අරඹයි

Share

අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ පිළිගත් ජාතික ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් සම්මාන උළෙල වන SLIM DIGIS 2020 සම්මාන උළෙල ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව, පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබිණි. SLIM DIGIS 2.0 මේ වසරේ පැවැත්වෙන පළමු සම්මාන උළෙල ලෙසින් මෙන්ම, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත සියලු SLIM සම්මාන උළෙලවල ආරම්භයද ලෙසින්ද සනිටුහන් කළ හැකිය. එමෙන්ම, SLIM ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලු සම්මාන උළෙලවල් ඉදිරියේදී අඛණ්ඩව පැවැත්වීමටද නියමිතය. 2020 ජූලි මස 03 වැනිදා පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට, SLIM ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා, SLIM ආයතනයේ උප සභාපති හා SLIM DIGIS සම්මාන උළෙලෙහි ව්‍යාපෘති අංශ සභාපති නුවන් ගමගේ මහතා, SLIM ආයතනයේ උප සභාපතිනිය තිලංකා අබේවර්ධන මෙනවිය, SLIM DIGIS  2.0 සම්මාන උළෙලෙහි සැලසුම් කමිටුවෙහි ප්‍රධානී ටිලාන් විජේසේකර මහතා සහ SLIM DIGIS  2.0 සම්මාන උළෙලෙහි ජූරියෙහි ප්‍රධානී ඉමාල් ෆොන්සේකා මහතා සහභාගි වූහ. SLIM DIGIS සම්මාන උළෙල මගින් ශ්‍රී ලංකාවේ හොඳම අලෙවිකරණ ප්‍රයත්නයන් හඳුනා ගැනීම සඳහා, අඛණ්ඩව දෙවැනි වරටත් SLIM සත්කාරකත්වය සපයනු ලබයි.   

SLIM DIGIS 2020 සම්මාන උළෙල සම්මාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. ඒ ප්‍රධාන සම්මාන කාණ්ඩය සහ නව විශේෂිත සම්මාන කාණ්ඩය යනුවෙනි. ප්‍රධාන සම්මාන කාණ්ඩය යටතට බැංකු හා මූල්‍ය, රක්ෂණ, විදුලි සංදේශ,  තොරතුරු තාක්ෂණ, අන්තර්ජාල, විනෝදාස්වාද, ආගන්තුක සත්කාර, ප්‍රවාහන හා සංචාරක මෙන්ම තවත් අංශ ගණනාවකින් හොඳම ඩිජිටල් අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන් ඇගයීමට ලක් කෙරේ. SLIM DIGIS 2020 සම්මාන උළෙලට එක් වූ නවතම අංගය වන ජාත්‍යන්තර කාණ්ඩය ලෙසින්ද හඳුන්වන නව විශේෂිත සම්මාන කාණ්ඩය යටතට, ජාත්‍යන්තර වශයෙන් අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන ශ්‍රී ලාංකීය සමාගම් සුදුසුකම් ලබන අතර, සියලු සංවිධාන හා ආයතනවලට ඒ සඳහා සෘජුව අයදුම් කළ හැකිය. 

“ඩිජිටල් අලෙවිකරණය, වර්තමානයේ ලොව පුරා බොහෝ ආයතන අනුගමනය කරන ප්‍රධාන අලෙවිකරණ අංගයක්. අලෙවිකරණ ක්ෂේත්‍රයේ නවතම මෙවලම් සමගින් ආයතනයන්ට සිය ආධිපත්‍ය තහවුරු කිරීමට එමගින් සැලකිය යුතු මෙහෙයක් ඉටු වෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙසින්, දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර මට්ට්මේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරමින් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය බල ගන්වන සමාගම් හඳුනා ගැනීමේ අවශ්‍යතාව SLIM ආයතනය මගින් හඳුනාගෙන තිබෙනවා. මෙම සම්මාන උළෙලේ පළමු පියවර අපි සාර්ථකව අවසන් කර තිබෙනවා. දෙවැනි පියවර වශයෙන් පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය ඉතාමත් දර්ශනීය උළෙලක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” SLIM ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නව විශේෂිත සම්මාන කාණ්ඩය යටතේ හොඳම අන්තර්ජාල අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන, අලෙවිකරණය සඳහා හොඳම තාක්ෂණය භාවිතය, හොඳම අලෙවි ප්‍රවර්ධන ඉදිරිපත් කිරීම, අලෙවිකරණය වෙනුවෙන් හොඳම අන්තර්ජාල මාධ්‍ය භාවිතය, පළපුරුදු ඩිජිටල් අලෙවිකරණයේ හොඳම භාවිතය, කුඩා ව්‍යාපාර සඳහා වන හොඳම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය යන අංග යටතේ ඩිජිටල් නොවන ව්‍යාපාර හා ඩිජිටල් බ්‍රෑන්ඩ් බ්‍රේවරි සම්මාන පිරි නැමේ. ජයග්‍රාහකයින් සඳහා රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමෙන අතර, ප්‍රධාන සම්මාන සහ විශේෂ සම්මාන යන කාණ්ඩ ද්විත්වය යටතේම ඉහළම ලකුණු මට්ටමක් ලබා ගත් සමාගම Grand Prix සම්මානයෙන් පිදුම් ලබයි.

“ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ අපගේ ශ්‍රී ලාංකීය සමාගම් විසින් සිදුකරනු ලබන අසහාය වැඩසටහන් අගය කරමින් සම්මාන පිරිනැමීම අපට ඉතාමත් සතුටට කරුණක්.  ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයින් වශයෙන් මෙබඳු ජයග්‍රහණ හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය ලබා දීම අපගේ යුතුකමක් ලෙස අපට වැටහෙනවා. මෙම සම්මාන උළෙල පැවැත්වීම මගින් සමාගම්වලට සහ සේවකයින්ට තවදුරටත් නව්‍යකරණයන් හා අදහස් ඉදිරිපත් කිරීමට දිරිමත් කෙරෙනවා.” SLIM DIGIS 2.0 සම්මාන උළෙලෙහි ව්‍යාපෘති අංශ සභාපති නුවන් ගමගේ මහතා සඳහන් කළේය.

SLIM DIGIS 2.0 සම්මාන උළෙලේදී, සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන ඩිජිටල් අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක අවධානයට ලක් කෙරේ. මෙහිදී, විකාශ කාල සීමාව විනාඩි 5 ක් හෝ විනාඩි 5 ට අඩු වශයෙන්, නව කාල සීමාවන් දක්වා තිබේ. සියලු තරගකරුවන් අඩුම තරමේ සන්නිවේදන අවශ්‍යතා සපුරන එක් නිදර්ශකයක් හෝ ඉදිරිපත් කළ යුතු අතර, අමතර නිදර්ශක සමාලෝචන කාර්යය සඳහා විනිශ්චය මණ්ඩලයට අත්වැලක් වනු ඇත.

1970 වසරේ බිහිව, 1980 වසරේදී පාර්ලිමේන්තු පණතක් මගින් සංස්ථාගත කෙරුණු SLIM ආයතනය, අලෙවිකරුවන් සඳහා වන ප්‍රම්‍රඛතම ජාතික ආයතනය ලෙසින් මෙන්ම ලාභ ලැබීමේ අරමුණින් තොරව පිහිටුවා ගැනුණු ආයතනයක් ලෙසින්ද පිළිගැනීමට පාත්‍ර වෙයි. SLIM ආයතනය අලෙවිකරණ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කර ඇති අතර, 1970 එය ආරම්භ කළ වසරේ සිට මේ දක්වාම, ශ්‍රී  ලංකාවේ අලෙවිකරණ මට්ටම ඉහළ නැංවීමටද කටයුතු කරමින් සිටියි. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රකට මෙන්ම ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ SLIM Nielsen ජනතා සම්මාන, බ්‍රෑන්ඩ් එක්සලන්ට් මෙන්ම NASCO හා Effie සම්මාන පිරිනැමීමෙහි සත්කාරකත්වය මෙන්ම ප්‍රධාන අනුග්‍රාහකත්වයද දරනු ලබන්නේ SLIM ආයතනය විසිනි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top