අන්තර්ජාලයේ ස්තර තුන

Mic
By Mic

අන්තර්ජාලය කියද්දීම අපිට මතක් වෙන්නේ ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වගේ වෙබ් අඩවි. නමුත් මේ වෙබ් අඩවි අන්තර්ජාලයේ ඉතා කුඩා කොටසක් විතරයි. ඇත්තටම අන්තර්ජාලය කියන්නේ මහා සාගරයක් වගේ විශාල දෙයක්. එයට ප්‍රධාන ස්තර තුනක් තියෙනවා. මේවා මතුපිට ජාලය (Surface Web), ගැඹුරු ජාලය (Deep Web) සහ අඳුරු ජාලය (Dark Web) ලෙස හඳුන්වනවා. අද අපි මේ ස්තර තුන ගැන කතා කරමු.

මතුපිට ජාලය 

මතුපිට ජාලය කියන්නේ අපට සාමාන්‍ය බ්‍රවුසර් එකක් (Chrome, Safari, Firefox) පාවිච්චි කරලා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙබ් අඩවි. ගූගල්, බිං, යාහූ වගේ සෙවුම් එන්ජින් වලින් සොයාගන්න පුළුවන් සියලු වෙබ් අඩවි මේකට අයිති වෙනවා. උදාහරණයක් වශයෙන්, “ශ්‍රී ලංකාවේ හොඳම හෝටල්” කියලා ගූගල් එකේ සර්ච් කළොත් ලැබෙන සියලු ප්‍රතිඵල මේ මතුපිට ජාලයේ තියෙන දේවල්.

මේ ස්තරය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. ව්‍යාපාර ආයතන ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රචාරණය කරන්නේ, අන් අය සමග තොරතුරු බෙදාගන්නේ, හා සාමාන්‍ය දැනුම ලබාගන්නේ මේ ස්තරයෙන්. එත් මේ මතුපිට ජාලය සමස්ත අන්තර්ජාලයෙන් 4-10% ක් පමණයි. ඉතිරි 90% ක් පමණ අපට නිතර පෙනෙන්නේ නැහැ.

ගැඹුරු ජාලය – සැඟවුණු තොරතුරු ගබඩාව

ගැඹුරු ජාලය කියන්නේ සෙවුම් එන්ජින් වලට සොයාගන්න බැරි, ලොගින් වීම් පිටුපස හැංගිලා තියෙන තොරතුරු. ඔබේ ඊමේල් ගිණුම, බැංකු ගිණුම, රෝහලේ වාර්තා, සමාගම් වල අභ්‍යන්තර වෙබ් අඩවි (intranet) වගේ දේවල් මේ ගැඹුරු ජාලයේ තියෙනවා.

මේ තොරතුරු වලට ප්‍රවේශ වෙන්න ඔබට නිසි අනුමැතියක් හෝ මුරපදය‍යක් තිබීම අනිවාර්‍යයි. උදාහරණයක් වශයෙන්, ඔබේ බැංකු ගිණුමේ ශේෂය බලන්න ඔබට ඔබේ මුරපදය යෙදීමට සිදු වෙනවා. මේ ගැඹුරු ජාලය කිසිසේත්ම අනතුරුදායක එකක් නෙවෙයි. මේ ස්තරය අපේ පෞද්ගලිකත්වයට හා ආරක්ෂාවට ඉතාම වැදගත්. ඇතැම් සමීක්ෂණ වලට අනුව අන්තර්ජාලයේ 90% කට වඩා තොරතුරු මේ ගැඹුරු ජාලයේ අඩංගු වෙනවා.

අඳුරු ජාලය – නිර්නාමික ලෝකය

අඳුරු ජාලය කියන්නේ ගැඹුරු ජාලයේ කුඩා කොටසක්. මේකට ප්‍රවේශ වෙන්න විශේෂ මෘදුකාංග (Tor browser වගේ) අවශ්‍ය වෙනවා. මේ ස්ථානයේ පරිශීලකයන්ගේ අනන්‍යතාව සහ ඔහු සිටින තැන සැඟවිලා තමයි තියෙන්නේ.

මේ නිර්නාමිකත්වය සමහර වෙලාවට හොඳ අරමුණු වලට පාවිච්චි වෙනවා. ගුප්ත තොරතුරු හෙළිදරව් කරන අය, ඒකාධිපති රටවලට එරෙහිව ස්වාධීනත්වය ගැන කතා කරන අරගලකරුවන් මේ නිර්නාමිකත්ව පාවිච්චි කරනවා.

ඒ වගේම තමයි, අඳුරු ජාලය අයහපත් වැඩවලටත් පාවිච්චි වෙනවා. නීති විරෝධී වෙළෙඳාම, අපරාධ සාකච්ඡා, හැකර් ක්‍රියාකාරකම් වගේ දේවල්වලට මේක පාවිච්චි කරනවා. ඒ නිසාම අඳුරු ජාලය අන්තරායකාරී තැනක් ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා.

මතුපිට ජාලය අපේ දවසේ අවශ්‍යතාවන්ට අපි පාවිච්චි කරනවා. ගැඹුරු ජාලය අපේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරන්නට පාවිච්චි කරන අතර, අඳුරු ජාලය හොඳ නරක අරමුණු දෙක සඳහා පාවිච්චි වෙනවා.

මේ තොරතුරු ඔබට වැදගත් වෙන්නේ අන්තර්ජාලයේ සංකීර්ණත්වය තේරුම් ගන්නයි. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න විදිහට අන්තර්ජාලය කියන්නේ සරල දෙයක් නෙවෙයි. ඒක පිළිබඳව හරි දැනුමක් තියෙන අයට ඒකේ හොඳ පැති පාවිච්චි කරමින්, අයහපත් දේවල්වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

උපුටා ගැනීම: tech expert

Share This Article