ඩිජිටල් ලොවට හොරා ආදරේ කරමු:  ‘No-launch’ dating trend

Author
By Author

ඉස්සර අපේ අම්මලාගේ තාත්තලාගේ, ආච්චිලා, සීයලාගේ කාලේ ආදරේ කරන්න සෝෂල් මීඩියා තිබුණේ නැහැනෙ. සෝෂල් මීඩියා තියා ඒ කාලේ දුරකථනවත් තිබුණේ නැහැ. ඒ කාලේ බස් එකේ දැකලා එඩ්රස් එක ඉල්ලගන්න බැරි උනු නංගියෙක්ව හොයාගන්නේ, පත්තරේ ඒ වෙනුවෙන්ව තිබුණු ආදරවන්තයන්ගේ තීරුවට ලියලා. බස් එකේදි හෙමිහිට කකුල පාගලා එඩ්රස් එක ඉල්ලගන්න පුලුවන් උනානම්, ඊට පස්සේ ලියුමක් කාරිය දාලා තමයි වැඩේ පටන් ගන්නේ. හැබැයි ඔය කොයි විදියට ආදරය කරන්න පටන් ගත්තත් ලොවට හොරා තමයි වැඩේ කරගෙන යන්නේ. මොකද ඔය අපේ ආච්චිලගේ සීයලගේ කාලෙදී එහෙම ආදර සම්බන්ධකම් ඒතරම් හොඳයි කියලා සැලකුණේ නැහැ. ගොඩක් වෙලාවට යෝජිත සම්බන්ධකම් තමයි තිබුණේ. ඒ නිසාම ගොඩක් වෙලාවට ආදර සම්බන්ධකම් ගෙදරට හොරා, ලොවට හොරා තමයි පවත්වා ගෙන යන්නට සිද්ධ වුණේ.

සෝෂල් මීඩියා ලෝකේ ආදරේ!

හැබැයි කාලය වෙනස් වුනා. ලෝකය වෙනස් වුණා. ලෝකෙට සෝෂල් මීඩියා ආවා. ගැහැණු මිනිස්සු වැඩි වැඩියෙන් සෝෂල් මීඩියා හරහා එකිනෙකාව අඳුනා ගන්න, කැමැත්ත අහන්න, ආදරේ කරන්න පටන් ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම, දෙන්නට දෙන්නා කැමතිවෙලා ආදර සම්බන්ධය පටන් ගත්තට පස්සේ, දෙන්නත් එක්ක රිලේෂන්ශිප් ස්ටේටස් -ඒ කියන්නේ මම in a relationship with අහවලා කියලා- ෆේස්බුක් එකේ එහෙම දාලා, ලෝකෙටම දැනුම් දීලා ආදරය කරන විලාසිතාවකුත් ලෝකෙට බිහිවුණා.

දැන් ඔය විදියට ෆේස්බුක් එකේ රිලේෂන්ශිප් ස්ටේටස් වලින් විතරක් නෙවෙයි, පොදුවේ සෝෂල් මීඩියා ඕනෑම එකකින් තමන් ආදර සම්බන්ධතාවයක ඉන්නවා කියලා හරි, විවාහ වුණා කියලා හරි ලෝකෙට කියන එක මේ වෙනකොට සාමාන්‍ය භාවිතයක් වෙලා තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට සිද්ධවෙන්නේ කපල් ෆොටෝ වලින් තමයි. එතකොට කාගේ හරි සමාජ මාධ්‍ය ගිණුමක් දැක්ක ගමන් අපිට තේරුම් ගන්න පුළුවන්, මේ මනුස්සයා සිංගල් ද, එහෙම නැතිනම් බොරුවට හරි සම්බන්ධතාවයක ඉන්නවද කියලා.

හැබැයි සමහරු ඉන්නවා, ඕක තවත් දුරට අරගෙන යනවා, දෙන්නටම එක සෝෂල් මීඩියා ප්‍රොෆයිල් එකක් හදලා. දැකලා නැද්ද ෆේස්බුක් එකවුන්ට් තියෙනවා, සිරිමල් ඇන්ඩ් සෙනෙහෙලතා, කුචී ඇන්ඩ් බුචී  වගේ නම් වලින්.

ලෝකෙටම කියාගෙන ආදරේ කරමු!

හරි දැන් ඔය විදිහට වර්තමාන සමාජ මාධ්‍ය ලෝකයේ ආදර සබඳතා, මුළු ඩිජිටල් ලෝකෙටම අණ බෙර ගහලා පටන්ගත්තට, තවමත් සමහර අය ඉන්නවා තමන්ගේ පෞද්ගලිකත්වයට සෑහෙන්න තැනක් දෙන. ඒ අයට ඕන නැහැ ලෝකෙටම කියාගෙන තමන්ගේ පුද්ගලික සම්බන්ධතා පවත්වාගෙන යන්න. දැන් අපි උඩින් කිව්වේ මුළු ලෝකෙටම තමන්ගේ සම්බන්ධතාවය ගැන කියලා, දෙන්නත් එක්ක රිලේෂන්ශිප් ස්ටේටස් දාලා, දෙන්නට දෙන්නා තුරුල් වෙලා ඉන්නවා, එහෙම නැතිනම් එකම හැන්දෙන් අයිස්ක්‍රීම් කනවා, එහෙමත් නැත්නම් දෙන්නම එකම ජර්සිය ඇතුලේ ගුලි වෙලා ඉන්නවා වගේ, දැක්ක ගමන් “මුන් දෙන්නා අලුතෙන් ලව් කරන්න පටන් ගත්ත දෙන්නෙක්” කියලා බල්ලෙක්ට පූසෙක්ට වුනත් කියන්න පුළුවන් විදියේ ෆොටෝස් ඇල්බම් පිටින් සෝෂල් මීඩියා වල දාගෙන ලව් කරන අය ගැන. ඒ අය මේ විදිහට තමන්ගේ ආදරය ලෝකෙටම හඬ නඟලා ප්‍රකාශ කරලා තමන්ගේ ආදර සම්බන්ධතාවය දියත් කරන එකට කියන්නේ “Hard launch” කියලා.

කෙනෙක් ඉන්නවා, හැබැයි කවුද අහන්න එපා!

එතකොට තවත් සමහරු ඉන්නවා, ඒ අයට ඩිජිටල් ලෝකෙට කියන්න ඕන තමන් ආදර සම්බන්ධතාවයක ඉන්නවා කියලා. සමහර වෙලාවට එහෙම කියන්න වෙන්නේ අනිත් කෙනාගේ බලපෑම උඩ වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම වුණත් මේ අයට ඕන නැහැ, තමන් කාත් එක්ක ද සම්බන්ධයක් තියෙන්නේ කියන එක ලෝකෙට හෙළිදරව් කරන්න. ඒ අයට හෙළිදරව් කරන්න ඕන වෙන්නේ තමන් සම්බන්ධයක ඉන්නවා කියන එක විතරයි. අන්න එහෙම අය කරන දෙයක් තමයි “Soft launch” කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත්, ඔන්න සෝෂල් මීඩියා වල ෆොටෝ එකක් දානවා, තමන් හොඳ රෙස්ටොරන්ට් එකක ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් වුණු රාත්‍රී භෝජනයකට ගිහිල්ලා. කෑම පිඟානට උඩින් අත දික් කරගෙන තවත් අතක් අල්ලගෙන ඉන්නවා ෆොටෝ එකේ පේනවා. හැබැයි කවුද අනිත් පැත්තෙ ඉන්න කියන එක හරියට පේන්නේ නෑ. එතකොට ඔය දිය ඇල්ලක් වගේ එකක් නරඹන්න ගිහිල්ලා, පිටිපස්සෙන් කාගේ හරි අත අල්ලගෙන ඉස්සරහ බලාගෙන ඉන්නවා ෆොටෝ එකක් අරගෙන සෝෂල් මීඩියා වල දානවා. ඒවගේම “in a relationship with” කාත් එක්කද කියලා විශේෂයෙන් කියන්නේ නැතුව, in a relationship කියලා රිලේෂන්ශිප් ස්ටේටස් දානවා. අන්න ඒකට තමයි කියන්නේ “Soft launch” කියලා!

කවුරුත් එන්නැති, කවුරුත් දන්නැති, මල් පෙති විහිදුණු මල් පාරේ…

දැන් ඔය ඇරෙන්න තව ඩිජිටල් ලෝකයේ ආදර සම්බන්ධතා ආරම්භ කරන විධි තියෙනවද? ඇත්තටම ඔව්. දැන් තමයි අපි හරියටම මේ ආටිකල් එකේ මාතෘකාවට ප්‍රවිෂ්ට වෙන්නේ. සෝෂල් මීඩියා පටන් ගත්තු ඉස්සර කාලෙ වගේම, මේ වෙනකොටත් බොහෝ දෙනෙක් ඉන්නවා ලෝකයේ කවුරුත් තමන් ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන හෝ විවාහයකට ඇතුළත් වෙලා ඉන්නේ කියලා දැනගන්නවට කැමති නැති. ඒකට උදාහරණයක් තමයි, ප්‍රසිද්ධ නළු නිළියෝ. ඒ අය ගොඩක් වෙලාවට තමන්ගේ පෞද්ගලික ජීවිතය අතිශයින්ම රහසිගත විදිහට රකිනවා පායෝගික කරණා නිසාම. ඔය පැපරාසින්ගෙන් එහෙම ඒ වගේ ප්‍රසිද්ධ චරිත වලට තියෙන කරදරේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

ඉතින් මේ විදියට, ඩිජිටල් ලෝකය ඇතුලේ පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතුයි කියලා හිතන, තමන්ගේත් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියගේත් පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතුයි කියලා ස්ථීරව තීරණය කරන අය, ඉස්සර ඉඳන්ම තමන්ගේ ආදර සම්බන්ධතා ඔන්ලයින් ජීවිත ඇතුළේ පවත්වාගෙන ගියපු ආකාරය, මේ වෙනකොට ආයෙමත් ට්‍රෙන්ඩ් එකක්, විලාසිතාවක් වෙමින් පවතිනවා. මේකටත් නමක් තියෙනවා. මේකට කියන්නේ “No launch” කියලා!

No launch dating trend

ඇත්තම කිව්වොත් මේක සෑහෙන්න පරණ කතාවක් වුනාට, සෝෂල් මීඩියා ලෝකෙකට ඉපදුනු පරම්පරාවලට නම් මේ ලොවට හොරා ආදරය කරන එක හරිම අමුතු දෙයක්. අන්න ඒ නිසා තමයි මේ “No launch” කියන එක විලාසිතාවක් වෙන්නේ. විශේෂයෙන්ම මේ විලාසිතාව ආරම්භ වෙන්නේ මුලින්ම instagram ඔස්සේ. ගොඩක් වෙලාවට මේ විලාසිතාව අනුගමනය කරන යුවළකගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරික්සා බැලුවොත්, දෙන්නා එකට ඉන්න එක ඡායාරූපයක්වත් අහම්බෙන්වත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ තමන්ගේ පෞද්ගලිකත්වය රැකගන්න හිතන සාමාන්‍ය මනුස්සයෙක්ට එහා ගියපු වෙනස් විධියේ හැසිරීමක් කියන්න පුලුවන් මේ “No launch” එකත් එක්ක එන්නේ. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ පෞද්ගලිකත්වය රැකෙන්න ඕන කියල හිතන කෙනෙක් වුණත්, තමන්ගේ විවාහ ගිවිස ගැනීමක්, නැතිනම් විවාහ වීමක් වගේ දෙයක එක ඡායාරූපයක් හරි සමාජ මාධ්‍ය වලට එකතු කරනවානේ. ඒත් මේ “No launch” ට්‍රෙන්ඩ් එකේ ඉන්න අය එහෙම ඡායාරූපයක් තියා, නිකම් දෙන්නත් එක්ක මොකක් හරි සාමාන්‍ය අවස්ථාවකට සහභාගී වෙන, අහම්බෙන් ගැනුණු ඡායාරූපයක්වත් තමන්ගේ ගිණුමක තියෙන්න දෙන්නේ නෑ. ඇත්තටම ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් නළු නිළියන් වගේ තරු මේ විදියේ හැසිරීමක ඉන්න එක නම් අපිට ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන්.

ඉතින් ඔබ ආදර සම්බන්ධතාවයකට හෝ විවාහ ගිවිස ගැනීමකට හෝ විවාහයකට ඇතුළත් වෙනවා නම්, ඔබ තෝරා ගන්නේ Hard launch ද, Soft launch ද, නැතිනම් No launch ද? ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ඔබයි. කොහොම නමුත් මේ No launch විලාසිතාව ගැන අපිට මෙහෙම කියන්න පුළුවන්.

ඉතිහාසය නැවත නැවතත් සිද්ධ වේ!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *