මෙරට ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ගේට්ස් පදනම සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Mic
By Mic

සිංගප්පූරුවේ පැවැත්වෙන Asia Tech 2026 සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Gates Foundation) සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සාර්ථකව පවත්වන ලදී. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකාව කලාපය තුළ සියලු දෙනා ඇතුළත් කරගත් ඩිජිටල් පරිවර්තනයක් සඳහා ප්‍රායෝගිකව කැපවී ක්‍රියාකරන රටක් ලෙස මෙහිදී ඇගයීමට ලක්විය.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) උපායමාර්ගය සහ “පොදු යහපත සඳහා AI තාක්ෂණය” (AI for Public Good) යොදාගැනීමේ වැඩපිළිවෙළ උදෙසා තාක්ෂණික සහ උපදේශන සහයෝගීතාව ලබාගැනීමයි. මේ යටතේ ශ්‍රී ලංකාවේ කෙටුම්පත් කර ඇති AI ප්‍රතිපත්ති මාලාව ගේට්ස් පදනමේ සමාලෝචනයට ලක් කිරීමටත්, ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් (DPI) සහ දත්ත මත පදනම් වූ උපායමාර්ග ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම කණ්ඩායම් අතර තාක්ෂණික සංවාදයක් ඇරඹීමටත් මෙහිදී එකඟතාව පළ විය.

තවද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලීමට අනුව, කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ “Inclusive Digital Agriculture Transformation” (IDAT 2) ව්‍යාපෘතියේ මීළඟ අදියර වඩාත් ගොවි-කේන්ද්‍රීය මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව ගොවීන්ගේ ඵලදායිතාව සහ වෙළෙඳපොළ ප්‍රවේශය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ AI තාක්ෂණය ඔස්සේ ගොවීන්ට අවශ්‍ය ඩිජිටල් උපදේශන සේවා සැපයීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙම ඩිජිටල් ගමන වඩාත් කඩිනම් කිරීම සඳහා ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි කලාපීය සහෝදර රාජ්‍යයන්ගේ තාක්ෂණික පරිසර පද්ධතීන්ගේ සහය ලබාගැනීමට ද සාකච්ඡා කෙරිණි. ඒ අනුව, සිංගප්පූරුවේ “AI Singapore” ආයතනය සමඟ එක්ව රාජ්‍ය අංශයේ AI භාවිතය සහ දක්ෂතා වර්ධනය කිරීමටත්, ඉන්දියාවේ “EkStep” වැනි Digital Public Goods පද්ධතීන් හරහා පුරවැසි සේවා සහ බහුභාෂා AI යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් අපේක්ෂිතය.

මීට අමතරව, ගෝලීය ඩිජිටල් හැඳුනුම්පත් (Digital ID) ක්‍රියාවලීන්ගෙන් ප්‍රායෝගික පාඩම් ඉගෙනීම සඳහා ගොව්ටෙක් (GovTech) ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරීවරයාට බැංගලෝරයේ විශේෂ දැනුම හුවමාරු කරගැනීමේ චාරිකාවකට ද මෙහිදී ආරාධනා ලැබිණි.

මෙම සුවිශේෂී සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා සහ ගොව්ටෙක් ශ්‍රී ලංකා (GovTech Sri Lanka) හි ප්‍රධාන විධායක නිලධාරී (වැඩබලන) සංජය කරුණාසේන මහතා ඇතුළු දූත පිරිස සහභාගී වූහ. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වෙනුවෙන් එහි ඉහළ නිලධාරියෙකු වන හරී මෙනන් (Hari Menon) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම මෙම ද්විපාර්ශ්වික හමුවට එක්ව සිටියහ.

උපුටා ගැනීම : අද දෙරණ

Share This Article