ශ්‍රී ලංකාව තුළ මිලියන 4කට ආසන්න සයිබර් ප්‍රහාර ප්‍රමාණයක් Kaspersky හඳුනාගනී

Mic
By Mic

ගෝලීය වශයෙන් සයිබර් තර්ජන වේගයෙන් වර්ධනයවන පසුබිමක, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් ද සයිබර් තර්ජන රැගත් වෛරස් මෘදුකාංගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 2025 වසරේදී ලොව පුරා සෑම දිනකම සාමාන්‍යයෙන් අන්තර්ජාල වෛරස් පන් ලක්ෂයක් පමණ සැරිසරන බව Kaspersky හෙළිකරයි. එහිදී කලාපීය වශයෙන් ඇති තර්ජනය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

Kaspersky Security Network දත්තවලට අනුව 2025 වසරේ තෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකාව තුළින් පමණක් අන්තර්ජාල වෛරස් සිදුවීම් මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. මෙම කාලසීමාව තුළ පරිශීලකයින් 23.2%ක ප්‍රමාණයක් දේශීය සයිබර් තර්ජනවලට මුහුණපා ඇති අතර, දේශීය සයිබර් තර්ජන මට්ටම අනුව ගෝලීය වශයෙන් 53වැනි තැන ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

දේශීය පරිගණක වෛරස තත්ත්වයන්ට බහුල වශයෙන් පෙන් ඩ්‍රයිව්, සී.ඩී තැටි, ඩීවීඩී තැටි සහ වෙනත් මාර්ගගත නොවන මාර්ග හේතුවී ඇති බව ද පෙනීගොස් තිබේ. එනම් අන්තර්ජාලමය නොවන එහෙත් පරිගණක ආශ්‍රිත උපාංග හුවමාරුවන අවස්ථා ඉලක්ක කරගනිමින් සයිබර් තර්ජන ක්‍රියාත්මකවන බව පැහැදිලි වේ.

මෙවැනි සයිබර් තර්ජනවලට මුහුණදීමේදී සාම්ප්‍රදායික ප්‍රතිවෛරස ක්‍රමෝපායන්ගෙන් බැහැර වූ වඩාත් දියුණු සයිබර් ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කිරීමත්, පරිගණක වෙත හුවමාරු උපාංග (removable devices) භාවිත කිරීමෙන් වැළකීමත් අතිශය වැදගත් ය.

″වර්තමානයේ සයිබර් අපරාධවල බරපතලකම ගෝලීය දත්ත මගින් පැහැදිලිවන අතරම, දේශීය වශයෙන් එහි ඇති බලපෑමත්, දත්ත හුවමාරු උපාංග බහුලව භාවිතවන විවිධ කෂේත්‍රවල එහි ඇති දැඩි අවදානමත් හොඳින් පෙනීයනවා. එමනිසා ප්‍රතිවෛරස් ආරක්ෂණ, firewall වැනි ආරක්ෂණ ක්‍රමවේද රැසක ආරක්ෂාව සැලසීමට මෙන්ම දත්ත හුවමාරු උපාංග භාවිතයට සීමා පැනවීමත් ඉතා වැදගත්″, යනුවෙන් Kaspersky ආසියානු පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ ඒඩ්‍රියන් හියා පැවසුවේය.

ගෝලීය වශයෙන් වැඩිම සයිබර් අපාරධවලට ගොදුරුවන්නන් සිටින රටවල්වන්නේ ටර්ක්මෙනිස්තානය, තජිකිස්තානය, උස්කෙිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ යේමනය පසුවන අතර පරිගණක වෛරස ආසාදන මට්ටම 30% ඉක්මවයි. ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 53වැනි තැන සිටිය ද පුද්ගලික වශයෙන් මෙන්ම ව්‍යාපාර ආයතන වශයෙන් ද සයිබර් ප්‍රහාර පිළිබඳ සැළකිලිමත්වීම නුවණට හුරු ය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සිය ඩිජිටල් භාවිතය තවදුරටත් පුළුල්කරමින් සිටින මෙබඳු අවස්ථාවක සයිබර් ප්‍රහාර වළක්වාගැනීමට දැඩි ආරක්ෂණ ක්‍රමවේද අවැසි ය. එහිදී නිවාස සහ රැකියා ස්ථාන වෙත උචිත සයිබර් ආරක්ෂණ විසඳුම් රැසක් Kaspersky පිරිනමයි.

උපුටා ගැනීම: අද දෙරණ

Share This Article