අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමේදී ඔබට වරදින තැන්

Mic
By Mic

අනාරක්ෂිත ජාලයක් භාවිතා කිරීම

මුදල් ගෙවීමේදී පොදු හෝ අනාරක්ෂිත Wi-Fi ජාලයක් භාවිතා කිරීම භයානකයි. මෙයින්  ඔබේ සංවේදී තොරතුරු හැකර්වරුන්ට නිරාවරණය වෙන්න පුළුවන්. ගෙවීම් කිරීමේදී සෑම විටම ආරක්‍ෂිත පුද්ගලික ජාලයක් භාවිතා කරන්න.

HTTPS නොසලකා හැරීම

ගෙවීම් කරන වෙබ් අඩවියේ URL එක පරීක්ෂා නොකර සිටීම අවදානම්. එහි “https://” ඇති බව සහතික කර ගන්න. එවැනි වෙබ් අඩවි හරහා මුදල් සංසරණය කිරීමෙන් ඔබගේ ගිණුම් තොරතුරු අනාවරණය විය හැකියි. මේ නිසා සෑම විටම යම් වෙබ් අඩවියක් හරහා ගෙවීම් කිරීමට පෙර එය ආරක්ෂිත සම්බන්ධතාවයක් (https://) සහිත වෙබ් අඩවියක් බව සහතික කරවා ගන්න.

ඔබගේ ගිණුම් තොරතුරු ඩිජිටල් උපාංග වල save කිරීම 

ඉදිරි ගෙවීම් ක්‍රියාවලිය පහසු කර ගැනීමේ අරමුණින් සමහරු සිය ගිණුම් විස්තර, මුරපද ආදිය වරක් ගෙවීම් සිදු කල පරිගණකයේ හෝ දුරකතනයේ save කර ගන්නවා. එවිට මීළඟ ගෙවීම සිදු කරන විට තොරතුරු ඇතුලත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එය පහසුවක්. හැබැයි මෙය ඔබගේ ආරක්ෂාව පහත දමනවා. ගෙවීම් කරන අවස්ථාවේදී තොරතුරු save කර ගැනීමට අවසර ඉල්ලීම සාමාන්‍ය දෙයක්. එය ප්‍රතික්ෂේප කරන්න. ගෙවීම් කිරීමෙන් පසුව අදාළ ගිණුමෙන් ඉවත් වන්න.

දුර්වල මුරපද

ගෙවීම් සිදු කිරීම සඳහා සකසා ගන්නා තෙවන පාර්ශවීය ගිණුම් වලට  දුර්වල හෝ පහසුවෙන් අනුමාන කළ හැකි මුරපද භාවිතා කිරීම අනතුරුදායකයි. පහසුවෙන් සිතා ගත නොහැකි ශක්තිමත්, අද්විතීය මුරපද එම ගිණුම් වලට යොදන්න. 

ගිණුම් ප්‍රකාශ නොසලකා හැරීම

සමහරු තමන්ගේ බැංකු ගිණුම හරහා සිදු වූ ගනුදෙනු මොනවාද කියලවත් දන්නේ නැහැ. එදිනෙදා සිදු වූ ගනුදෙනු පරීක්ෂා නොකර සිටීමෙන් වංචාවක් සිදු වෙනවාද නැද්ද යන්න හඳුනා ගන්න බැරි වෙනවා. මේ නිසා  ඔබේ ගිණුම් ප්‍රකාශයන් නිතිපතා අධීක්ෂණය කරන්න. යම් සැක කටයුතු ක්‍රියාකාරකමක් දුටුවහොත් වහාම ඔබගේ මුල්‍ය ආයතනයට පැමිණිලි කරන්න. 

Phishing Links මත ක්ලික් කිරීම

ඔබගේ මුල්‍ය ආයතනයේ නම පවසමින් එන ඊමේල් හෝ පණිවිඩවල Phishing Links තියෙන්න පුළුවන්. මේවා ක්ලික් කිරීම සුදුසු නැහැ. ඔබ වෙත ලැබුණු පණිවිඩ වල  සත්‍යතාව දෙවරක් පරීක්ෂා කරන්න. ගිණුම් වෙත ප්‍රවේශ වීමට නිල වෙබ් අඩවි භාවිතා කරන්න. වෙබ් අඩවියේ නම දෙවරක් පරීක්ෂා කරන්න. ඇතැම්විට ඔබ වෙත එන පණිවිඩයේ ඇති ලින්ක් එක සත්‍ය වෙබ් අඩවියට බොහෝ සෙයින් සමාන සුළු වෙනස්කමක් ඇති එකක් විය හැකියි. ව්‍යාජ වෙබ් අඩවියක් හරහා බැංකු කටයුතු සිදු කරන්නට යාමෙන් ඔබේ මුදල් ඔබට අහිමි වේ. 

උපුටා ගැනීම: tech expert

Share This Article