Claude AI එකෙන් ලියන ඒවා දැන් අහු වෙනවා! ඇස් වලට නොපෙනෙන අලුත්ම Watermark එක

Mic
By Mic

Assignments කරන, කන්ටෙන්ට් ලියන, AI වලින් වැඩ ගන්න හැමෝම අනිවාර්යයෙන්ම දැනගන්න ඕන පට්ටම නිවුස් එකක් අද අරන් ආවා. Anthropic සමාගම එයාලගේ Claude AI එකෙන් ලියන හැම අකුරකටම අපේ ඇස් වලට පේන්නේ නැති, හැබැයි මැෂින් වලට විතරක් කියවන්න පුළුවන් “Invisible Watermark” එකක් දාන්න පටන් අරන් තියෙනවා. යුරෝපා සංගමයේ අලුත් නීති (EU AI Act) වලට අනුව අගෝස්තු 2 වෙනිදා ඉඳන් ලෝකෙම ඉන්න යූසර්ස්ලට මේක ඇක්ටිව් වෙලා තමයි තියෙන්නේ.

මේකෙදි අපේ ටෙක්ස්ට් එක අස්සට වෙනම අකුරු, කෝඩ්ස් හරි ලෝගෝ හරි මොකුත් දාන්නේ නෑ. ඒ වෙනුවට Google DeepMind ලා හදපු SynthID-Text කියන තාක්ෂණය පාවිච්චි කරලා, AI එක වචන තෝරගන්න සම්භාවිතාව (Probability) ඇතුළෙන් තමයි මේක හැංගිලා තියෙන්නේ. ඒ කියන්නේ අදහස පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නෑ, හැබැයි ලියන රටාව ඇතුළේ වෙනමම රහස් කේතයක් හැංගිලා තියෙනවා. මේක නිසා AI එකේ ස්පීඩ් එකටවත්, කොලිටි එකටවත්, උඹලගේ ටෝකන් ගාණටවත් කිසිම බලපෑමක් වෙන්නේ නෑ. ඒ වගේම උඹලගේ පෞද්ගලික විස්තර කිසිම දෙයක් මේකට සේව් වෙන්නෙත් නෑ.

ගොඩක් උන් හිතයි මේක කොපි කරලා වෙන තැනකට පේස්ට් කරාම හරි, ෆොන්ට් එක වෙනස් කරාම හරි මේක මැකිලා යයි කියලා. හැබැයි මචං මේක එහෙම මකන්න බෑ. Copy-paste කරත්, Word එකට දැම්මත්, පොඩි පොඩි වචන වෙනස් කරත් මේ Watermark එක ඒ විදිහටම තියෙනවා. මේක අයින් කරන්න පුළුවන් වෙන්නේ උඹලා ඒ ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ආයෙත් ලිව්වොත්, වෙන භාෂාවකට Translate කරොත්, එහෙමත් නැත්නම් ටෙක්ස්ට් එක ගොඩක්ම කෙටියි නම් විතරයි. හැබැයි කෝඩින්ග් වලදි නම් මේක තාම ඒ තරම්ම සාර්ථකව අල්ලගන්න අමාරුයි.

මේ හැංගිච්ච Watermark එක අල්ලගන්න පුළුවන් Key එක දැනට තියෙන්නේ Anthropic සමාගමට විතරයි. හැබැයි එයාලා ළඟදීම මේක චෙක් කරන්න පුළුවන් API එකක් කැම්පස් වලට, Anti-plagiarism ටූල්ස් වලට සහ අනිත් ප්ලැට්ෆෝම් වලට දෙනවා කියලා කියලා තියෙනවා. එතකොට Claude එකෙන් ලියලා දුන්නොත්, ඒක AI එකෙන් ලියපු එකක් කියලා ලේසියෙන්ම අහු වෙනවා.

TECH SONA

Share This Article