බ්‍රිතාන්‍යයේ AI BOARD සමඟ අත්වැල් බැඳගත් ESOFT, AI අධ්‍යාපනය ගමට රැගෙන යාමට සූදානම්!

Mic
By Mic

ESOFT සහ එක්සත් රාජධානියේ The Artificial Intelligence Board (The AI Board) අතර ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට වයස අවුරුදු 14 සිට උසස් අධ්‍යාපන මට්ටම දක්වා එක්සත් රාජධානියේ නියාමනයට යටත් AI පිළිබඳ සුදුසුකම් හැදෑරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. ESOFT හි දිවයින පුරා පිහිටි අධ්‍යයන මධ්‍යස්ථාන 40ක් සහ ESOFT Online හරහා මෙම පාඨමාලා හැදෑරීමට සිසුන්ට හැකියාව ඇත.

අදියර හයකින් සමන්විත මෙම අධ්‍යාපන මාර්ගය AI පිළිබඳ මූලික අවබෝධය ලබාදෙන Level 2 සහතිකයෙන් ආරම්භ වේ. ඉන් අනතුරුව Level 3, Level 4 සහ Level 5 සුදුසුකම් හරහා ඉදිරියට යාමට සිසුන්ට හැකි අතර, පසුව Kingston University London හි උපාධි සම්පූර්ණ කිරීමේ පාඨමාලා සහ ESOFT UNI හරහා පිරිනමන MSc වැඩසටහන් දක්වා අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමේ අවස්ථාව ද හිමි වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ESOFT සමූහයේ නිර්මාතෘ, සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “AI තාක්ෂණය අද වන විට සෑම වෘත්තීය ක්ෂේත්‍රයකටම පාහේ සම්බන්ධ වෙමින් පවතිනවා. ඒ නිසා AI පිළිබඳ අවබෝධයක් ලබාගෙන එය වගකීමෙන් යුතුව භාවිත කිරීමට වැඩි පිරිසකට අවස්ථාව ලබාදීම ඉතා වැදගත්. පාසල් සිසුන්ට, උසස් අධ්‍යාපනය හදාරන අයට මෙන්ම තම වෘත්තීය කටයුතුවල දී AI භාවිත කිරීමට බලාපොරොත්තු වන අයටත් මෙම හවුල්කාරිත්වය හරහා ක්‍රමානුකූල, එක්සත් රාජධානියේ නියාමනයට යටත් අධ්‍යාපන මාර්ගයක් හඳුන්වා දෙනවා. දිවයින පුරා පිහිටි අපගේ අධ්‍යයන මධ්‍යස්ථාන සහ Online අධ්‍යාපන පහසුකම් හරහා මෙම අවස්ථාව ලබාදීම මෙන්ම ගුරුවරුන්ට නොමිලේ AI පුහුණුව ලබාදීමත් අපගේ කැපවීමේ වැදගත් කොටසක්.”

මෙම වැඩසටහන යටතේ සිසුන්ට Applied AI & Engineering සහ AI Business යන අංශ දෙකෙන් තමන් කැමති අංශයක් තෝරාගත හැකිය. AI Business අංශය යටතේ අලෙවිකරණය, මෙහෙයුම්, මූල්‍ය සහ මානව සම්පත් ඇතුළු ක්ෂේත්‍රවල AI භාවිතය පිළිබඳව දැනුම ලබාගත හැකිය. මෙම අංශ දෙක හරහා විවිධ අධ්‍යාපනික සහ වෘත්තීය ක්ෂේත්‍රවලට අවශ්‍ය AI කුසලතා වර්ධනය කරගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ.

මෙම වැඩසටහන් එංගලන්තයේ සුදුසුකම් සහ විභාග නියාමනය කරන Ofqual ආයතනයේ නියාමනයට යටත් වන අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා පැහැදිලි මාර්ගයක් සකස් කරගැනීමට ද සිසුන්ට උපකාරී වේ. The AI Board යනු AI සහ දත්ත ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් පිරිනැමීම සඳහා විශේෂයෙන් කැපවී සිටින එක්සත් රාජධානියේ ආයතනයකි. එහි සුදුසුකම්වල ප්‍රමිතීන් සකස් කිරීමේ දී සේවා යෝජකයන්ගේ, ගුරුවරුන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් හා දායකත්වය ද ලබාගැනේ.

The AI Board හි කළමනාකාර අධ්‍යක්ෂ සහ සම-නිර්මාතෘ ජෝසප් ජෝන්ස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “AI අධ්‍යාපනය තුළ තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම පිළිබඳ ශක්තිමත් පදනමක් ලබාදෙන අතරම, සේවා යෝජකයන් අපේක්ෂා කරන කුසලතා ද වර්ධනය කිරීම වැදගත්. සැබෑ ලෝකයේ AI භාවිතයට ගැළපෙන පරිදි මෙම සුදුසුකම් යාවත්කාලීනව පවත්වා ගැනීම සඳහා ගුරුවරුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සේවා යෝජකයන්ගේ දායකත්වය අපි ලබාගන්නවා. ESOFT සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා එම ප්‍රමිතීන්ට අනුකූල අධ්‍යාපන අවස්ථා දැන් ශ්‍රී ලංකාවේ සිසුන්ට සහ ගුරුවරුන්ටත් ලබාගත හැකියි.”

AI ආචාරධර්ම, පෞද්ගලිකත්වය සහ තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම වැනි වැදගත් කරුණු ද මෙම වැඩසටහන්වලට ඇතුළත් කර තිබේ. මීට අමතරව, ගුරුවරුන්, කථිකාචාර්යවරුන් සහ පුහුණුකරුවන් සඳහා Level 3 Award in AI for Teaching Professionals සුදුසුකම නොමිලේ ලබාදීමට ද ESOFT කටයුතු කරයි. එමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු පිරිසට AI පිළිබඳ දැනුම සහ අවබෝධය වර්ධනය කරගැනීමට අවස්ථාව සැලසේ.

මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් 2026 සැප්තැම්බර් 28 වන දින බත්තරමුල්ල Waters Edge හිදී ආරම්භ කරන ලදී. එහිදී “AI-Powered Governance and Economic Development” යන තේමාව යටතේ කර්මාන්ත, අධ්‍යාපන සහ තාක්ෂණ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි. SRH Berlin University හි මහාචාර්ය ශ්‍රී ගනේෂ් තොට්ටෙම්පුඩි මහතා, The AI Board හි ජෝසප් ජෝන්ස් මහතා සහ Huawei Technologies Lanka, Computer Society of Sri Lanka සහ LK Domain Registry නියෝජනය කළ ඉන්දික ද සොයිසා මහතා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

2000 වසරේ ආරම්භ කළ ESOFT, වසර 25කට වැඩි අත්දැකීම් සහිත අධ්‍යාපන ආයතනයක් වන අතර, දිවයින පුරා අධ්‍යයන මධ්‍යස්ථාන 40ක් සහ Online අධ්‍යාපන පහසුකම් පවත්වාගෙන යයි. නම්‍යශීලී ඉගෙනුම් ක්‍රම හරහා රැකියාවල නිරත පුද්ගලයන්ට ද තම අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසන ESOFT, කොළඹින් බැහැර නගරවල සහ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට ද තමන්ට සමීප අධ්‍යයන මධ්‍යස්ථානයක් හරහා මෙම සුදුසුකම් හැදෑරීමට පහසුකම් සලසයි.

AI සුදුසුකම් සහ අදාළ වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.esoft.lk වෙත පිවිසෙන්න.

Share This Article