2026 ඔක්තෝබර් 21 වැනිදා,

Mic
By Mic

ලොව පුරා වෙබ් අඩවි විශාල සංඛ්‍යාවකට බලපෑ හැකි PHP2Shell නමැති බරපතළ ආරක්ෂක දෝෂ දෙකක් අනාවරණය වී තිබෙනවා. PHP කියන්නේ වෙබ් අඩවිවල Login වීම, තොරතුරු ලබාගැනීම සහ පරිශීලකයන්ගේ ඉල්ලීම් සැකසීම වැනි කටයුතු පිටුපස ක්‍රියාත්මක වන Programming Language එකක්. ලොව වෙබ් අඩවිවලින් 70%කට පමණ PHP භාවිත වන අතර, WordPress, Drupal සහ Joomla වැනි ජනප්‍රිය Website Platforms ද ඒ අතරට අයත් වෙනවා.

මෙහි ඇති භයානකම කරුණ වන්නේ අවදානමට ලක්වූ Server එකකට Password එකක් නොදැන වුවත් පිටස්තර පුද්ගලයෙකුට හානිකර උපදෙස් යැවීමට හැකි වීමයි. උදාහරණයක් ලෙස, Online Shopping Website එකක් මෙම දෝෂයට ලක්වී තිබුණොත් Hacker කෙනෙකුට එහි පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී පාරිභෝගික තොරතුරු සොරකම් කිරීම, වෙබ් අඩවියේ අන්තර්ගතය වෙනස් කිරීම හෝ එහි ක්‍රියාකාරිත්වයට හානි කිරීම වැනි ක්‍රියා සිදුකළ හැකියි. මේ සඳහා Hacker කෙනෙකුට මුලින්ම Website එකේ Admin Account එකකට Login වීම අවශ්‍ය නොවීම විශේෂ අවදානමක්.

කෙසේ වෙතත්, ලොව වෙබ් අඩවි 70%ක් දැනටමත් Hack කර ඇති බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. එම ප්‍රතිශතයෙන් පෙන්වන්නේ PHP තාක්ෂණය භාවිත කරන වෙබ් අඩවි ප්‍රමාණයයි. ආරක්ෂක දෝෂයට ලක්වීම තීරණය වන්නේ භාවිත කරන PHP Version එක සහ Server සැකසුම් මතයි. PHP සංවර්ධකයන් ඔක්තෝබර් 21 වැනිදා මෙම දෝෂ නිවැරදි කළ ආරක්ෂක Updates නිකුත් කර තිබෙනවා. එබැවින් Website හිමිකරුවන් සහ Hosting සේවා සපයන ආයතන තම Server පද්ධති හැකි ඉක්මනින් යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍යයි. මෙම සිදුවීමෙන් පෙන්වා දෙන්නේ ලොව පුරා මිලියන ගණනක් වෙබ් අඩවි එකම තාක්ෂණයක් මත රඳා පවතින විට, එහි එක් ආරක්ෂක දුර්වලතාවක් පවා කොතරම් විශාල අවදානමක් ඇති කළ හැකිද යන්නයි.

Red Bunny

Share This Article