ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් සති ගණනාවක් පුරා මිනිසුන් පීඩාවට පත්විය. මෙම ව්‍යසන අවස්ථාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට තොරතුරු, පණිවිඩ සහ උදව් උපකාර ලබා ගැනීමට උපකාරී වූවා සේම, ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමේ හා විකෘති කළ වීඩියෝ නිර්මාණය කර මුදාහැරීමේ අවස්ථාද දක්නට ලැබිණි.
තොරතුරු තාක්ෂණයේ නවතම පෙරළිය වන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI), වෛද්‍ය විද්‍යාවේ සිට අධ්‍යාපනය දක්වා වූ බොහෝ ක්ෂේත්රවලට යහපත සලසන නමුත්, සමාජ මාධ්‍ය හරහා තොරතුරු පරිභෝජනය කරන පුරවැසියන් සඳහා AI, අසත්‍ය තොරතුරු (Disinformation) සහ තොරතුරු විකෘති කිරීමේ (Information Distortion) නවතම හා බලවත්ම අවිය බවට පත්වෙමින් තිබේ.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල මගින් ලොව ඕනෑම පණිවිඩයක් හෝ සිදුවීමක් ක්ෂණිකව ප්‍රචාරය කළ හැකි වුවද, AI තාක්ෂණික දියුණුව හේතුවෙන් සත්‍යය සහ අසත්‍යය අතර වෙනස හඳුනා ගැනීම අභියෝගාත්මක වී ඇත.
AI භාවිතයෙන් නිර්මාණය කරන ඩීප් ෆේක්ස් (Deepfakes) යනු, යම් පුද්ගලයකු නොකී දේවල් පවසන ආකාරයට හෝ නොකළ දේවල් කරන ආකාරයට ඉතා ඉහළ තාත්විකත්වයකින් නිර්මාණය කරන ලද වීඩියෝ හෝ හඬ පටයන්ය. AI හි ජනන ආකෘති (Generative Models) භාවිතයෙන් තත්පර කිහිපයක් ඇතුළත ඕනෑම පුද්ගලයකුගේ මුහුණේ ඉරියව්, කටහඬ සහ චලනයන් අනුකරණය කළ හැකිය.
මෙම තාක්ෂණය දේශපාලන ක්ෂේත්රයේ, ආර්ථික, සමාජ කාරණා හෝ ආපදා අවස්ථාවල දී යොදාගත් අවස්ථා ලොව පුරා වාර්තා විය. එහිදී, ප්‍රබල චරිත මුල් කර ගනිමින් ව්‍යාජ වීඩියෝ නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් එය ක්ෂණිකව මහජන කථිකාවක් ඇති කිරීමට හැකි වී තිබේ.
ඩීප් ෆේක්ස් තරම්ම භයානක නොවුණත්, AI මගින් පවතින ඡායාරූප සංස්කරණය කිරීම හෝ මුල සිටම අලුතින් ඡායාරූප ජනනය කිරීම තොරතුරු විකෘති කිරීමේ තවත් ප්‍රබල ක්‍රමයක් වේ. මෙහිදී AI මගින් දැනටමත් සිදු වී ඇති ආපදාවක හෝ සිද්ධියක ඡායාරූප ගෙන ඒවා වඩාත් භයානක ලෙස පෙනෙන ආකාරයට සංස්කරණය කිරීම හෝ අතීතයේ හෝ වෙනත් රටක ඡායාරූපයක් ගෙන එය වත්මන් සිදුවීමකට හෝ වෙනත් භූගෝලීය කලාපයකට අදාළ වන පරිදි සන්දර්භය වෙනස් කිරීම සිදු කරයි. මෙමගින්, සිදුවීම්වල සැබෑ ස්වභාවය පිළිබඳව වැරදි චිත්‍රයක් නිර්මාණය වන අතර, මහජනතාවගේ චිත්තවේගයන් උසිගන්වා ඔවුන් නොමඟ යැවීමට උත්සාහ කරයි.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ AI මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් හඳුනා ගැනීම සඳහාම තවත් AI මෙවලම් සහ වෝටර් මාක් (Watermarking) තාක්ෂණයන් සංවර්ධනය කෙරෙමින් පවතී.
එමෙන්ම, AI තාක්ෂණික වීඩියෝ හඳුනාගත හැකි වන්නේ, නොපැහැදිලි හෝ දුර්වල තත්ත්වයේ දර්ශන, AI මගින් ඇති කරන සියුම් දෝෂ, සහ වීඩියෝ ඉතා කෙටි වීම වැනි ගුණාත්මක භාවයේ දුර්වලතා හේතුවෙන් AI වීඩියෝ හඳුනාගත හැකිය.
මෙලෙස පුරවැසියන් විදිහට අප සැම, අන්තර්ගතයන් පරිභෝජනයේදී විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතු අතර, සෑම විටම තොරතුරුවල මූලාශ්‍රය පරීක්ෂා කිරීමට පුරුදු විය යුතුය. එසේම ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම අද්‍යතන යුගයේ අත්‍යවශ්‍ය කාරණයකි.
උපුටා ගැනීම : දිවයින
