AI එක්ක වෙනස් වෙන්නට නියමිත අනාගත රැකියා වෙළඳපොළට ඔබ සූදානම් ද?

Author
By Author

මෙයට අවුරුදු කිහිපයකට පෙර, කෙතරම් බුද්ධිමත් “ස්මාට්” මෙහෙයුම් පද්ධතියකට හෝ සේවාවකට වුවත් කළ හැකි යැයි අප නොසිතූ බොහෝ දේ, “AI” පද්ධතීන්ට කළ හැකි බව මේ වන විටත් ඇස් පනාපිට පෙනෙන්නට තිබෙන කරුණකි. නිදසුනක් ලෙසින් පෙන්වන්නේ නම්, අපට ලිපියක් හෝ දත්ත සටහනක් සකසා දෙන්නට AI සහකරුවකුට තත්පර කිහිපයකට වඩා ගත නොවේ. අපට අවශ්‍ය කරන ග්‍රැෆික් නිර්මාණයක් කරදීමට හෝ සැලසුමක් ඇඳ දීමටද AI සහකරුවකුට ගතවන්නේ අප පරිගණක තිරය දෙස බලන පරක්කුව පමණි. එපමණක් නොව විවිධ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා, පරිගණක ක්‍රමලේඛයන් නිර්මාණය කිරීම පවා AI සහකරුවකුට ඉතාමත්ම සුළු දෙයක් බව මේ වන විට ප්‍රායෝගිකව ඔප්පු වෙමින් පවතී.

කෙසේ නමුත් ඉහත කී කාර්යයන්, ඒ සම්බන්ධයෙන් හසල දැනුමක් සහ මනා ප්‍රවීණත්වයක් සහිත මිනිස් සහකරුවකු අතින් සිදුවන ගුණාත්මක භාවයෙන්ම එය ඉටුකිරීමට AI සහකරුවකුට හැකියාව තිබෙන්නේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බව කිව යුතුයි. නමුත් ඒ සඳහා පවා බලපාන්නේ කරුණු දෙකක් පමණක් වේ.

මින් පළමු කරුණ වන්නේ, AI සහකරුවකුට හුදු විධාන ලබාදීමකින් කාර්යය කරගන්නට නොයා, AI සහකරුවකුට පවරන කාර්යය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන සියලුම දත්ත ලබා දෙමින්, AI සහකරුවා සමග සංවාදයේ යෙදෙමින්, එම කාර්යය ක්‍රමයෙන් පරිපූර්ණව ඉටු කර ගැනීමේ හැකියාවයි. මේ සම්බන්ධයෙන් කතා කිරීම අපි මඳකට කල් තබමු. දෙවන කරුණ වන්නේ AI පද්ධතීන් සහ මෙවලම් තාක්ෂණික දියුණුව අත්පත් කර ගනිමින් පරිණාමය වෙමින් අනාගතයට ගමන් කරන සීඝ්‍රතාවයයි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, මනුෂ්‍ය ප්‍රවීණයෙකුගේ කාර්යයම එම ගුණාත්මක භාවයම සහිතව ඉටු කර දීමට අනාගත AI සහකරුවන් සමත් නොවෙතැයි අපට කිව නොහැක.


වර්තමානයේ රැකියා වෙළඳපොළට පහරක්?

Generative AI සහකරුවකු වන Microsoft copilot වෙත කළ හැකි දෑ සහ එය භාවිතා කළ යුතු ආකාරය හඳුන්වා දෙමින් මයික්‍රොසොෆ්ට් සමාගම පවසා සිටින්නේ, AI මෙවලම් සම්බන්ධයෙන් මිනිසුන් සැක ශoඛා ඇති කරගත යුතු නොවන බවයි. එය තවත් පැහැදිලි කර දෙමින් ඔවුන් පවසන්නේ, අප AI මෙවලම් උපයෝගී කර ගත යුත්තේ, නැවත නැවත සිදුකළ යුතු කාර්යයන් ඉටු කරවා ගැනීමට, තොරතුරු සොයා ගැනීම සහ තොරතුරු එකලස් කර ගැනීම වැනි කාලය ගතවන කාර්යයන් ඉටු කරවා ගනිමින්, මිනිස් කාලය ඉතිරි කර ගැනීමට බවයි. එසේම එම ඉතිරිවන කාලය, Smart හෝ AI සහකරුවන්ට තවමත් සිදුකළ නොහැකි, මනුෂ්‍ය සම්බන්ධතාවයන් අවශ්‍ය වන කාර්යයන් ඉටු කිරීමට සහ නිර්මාණශීලි කාර්යයන්හි යෙදීමට යොදාගත හැකි බවයි.

වර්තමාන තත්ත්වය හා බලන විට මෙම කාරණය සැබවින්ම සත්‍ය වේ. වර්තමානයේ AI මෙවලම් කෙතරම් දියුණුව තිබුණත්, එයින් මනා පලපුරුද්දක් සහිත ලේඛකයන්ගේ හෝ නිර්මාණ ශිල්පීන්ගේ හෝ ක්‍රමලේඛ ශිල්පීන්ගේ රැකියාවන්ට මරු පහරක් එල්ල වී නැත.

කෙසේ නමුත් මෙහිදී අප තරයේ සිහි තබාගත යුතු කාරණයක් තිබේ. එනම් මෙම වර්තමාන තත්ත්වය අනාගතයේදී වෙනස් විය හැකි බවයි. එසේනම් AI තාක්ෂණයන්ගෙන් බලගැන්වෙන අනාගත රැකියා වෙළඳපොලට මුහුණ දීමට අප සූදානම් විය යුත්තේ කෙසේද?

යාවත්කාලීන නොවන වෘත්තිකයන් අවදානමේ?

අපි ඉහතින් ද සඳහන් කළ පරිදි, AI තාක්ෂණයන් ඔස්සේ බොහෝ කටයුතු සිදු කරගත හැකි අනාගත රැකියා වෙළඳපොලකට ඔබ වෘත්තිකයකු වශයෙන් මුහුණ දෙන්නට සූදානම් වන්නේ නම්, එහි ප්‍රධානතම කාරණය විය යුත්තේ ඔබ යාවත්කාලීන වීමයි. එනම්, මූලිකවම Al මෙවලම් සමගින් වැඩ කරන්නේ කොහොමද යන්න ඉගෙන ගැනීමයි. මන්දයත්, වර්තමානයේ තත්ත්වය අනුව, Al මෙවලමකින් නිවැරදිම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා, ඔබට හොඳ හැකියාවක් තිබීම අත්‍යවශ්‍ය වන බැවිනි.

එසේම මනා අනුවර්තනීය හැකියාවද, එනම් වෙනස්වන රැකියා වෙළඳපොළට අනුව, වෙනස්වන තාක්ෂණයන්ට අනුව සහ වෙනස්වන කාර්යාල පරිසරයන්ට අනුව සාර්ථකව හැඩගැසීමට හැකියාව තිබීමයි.

මෙම කරුණු දෙක සඳහාම, ඔබ නිරන්තරයෙන් ඉගෙනුම ලබන අයෙකු බවට පත්වීම අති වැදගත් වෙයි. කෙසේ වුවත් මෙම නිරන්තරයෙන් ඉගෙනුම ලැබීම යනු අපහසු කාරණයක් නොවේ. වර්තමානය වන විට, විශාල ක්ෂේත්‍රයන් පරාසයක් ඔස්සේ පැතිර ඇති අතිවිශාල විෂයයන් ප්‍රමාණයක් ආවරණය කරනා ඉගෙනුම් වැඩසටහන්, පාඨමාලා සහ ඉගැන්වීම් අන්තර්ජාලයෙන් පහසුවෙන්ම සොයාගත හැකි බැවිනි. මින් බොහෝමයක් නොමිලේ ලබාගත හැකි ඒවා වෙයි. YouTube තුළින්ද ඔබට අවශ්‍ය ඕනෑම විෂයයක් සම්බන්ධයෙන් ඉගෙන ගත හැකි අන්තර්ගතයන් සොයාගත හැක. අවශ්‍ය නම් ඔබට යම්කිසි දෙයක් උගන්වන ලෙසින් Al සහකරුවාටම පැවරීමටද හැකියාව තිබේ.

IT දන්නවද?

නිරනුමානයෙන්ම, Al තාක්ෂණයන් නිර්මාණය කරන සහ පවත්වාගෙන යන රැකියාවන්ට අනාගත රැකියා වෙළඳපොලේ ඉහළ ඉඩක් පවතිනු ඇතැයි අපට සිතිය හැක. කෙසේ නමුත් මෙය අදාළ වන්නේ තොරතුරු තාක්ෂණ රැකියාවන්හි නියැලෙන වෘත්තිකයන්ට බව නොකිව මනාය.

තොරතුරු තාක්ෂණ නොවන රැකියාවන් සලකා බැලුවද, අනාගත රැකියා වෙළඳපොළට පිවිසීමේ දී, යම්කිසි තොරතුරු තාක්ෂණ (lT) දැනුමක් තිබීම ඔබට වැදගත් වනු ඇත. ඒ ගැන මෙසේ සිතන්න. මෙයට වසර හතළිහකට පමණ පෙරාතුව ඔබ රැකියාවකට පිවිසීමේදී පරිගණක දැනුම අත්‍යවශ්‍ය කාරණයක් නොවුනත්, මීට වසර විස්සකට පමණ පෙර අතීතයේ ඔබ රැකියාවකට යාමේදී, පරිගණක සාක්ෂරතාවය අනිවාර්ය කාරණයක් වූයේ නැතිද? ඔෆිස් පැකේජයන්හි වැඩ කිරීම, ඊ මේල් සේවා භාවිතා කිරීම වැනි දෑ රැකියාවකට අනිවාර්යයෙන් තිබිය යුතු කුසලතාවයන් ලෙසින් ගන්නා වෘත්තීය සංස්කෘතියක් නිර්මාණය වූයේ නැතිද? වර්තමානය වන විට ඔබ රැකියාවකට යෑමේදී පරිගණක සාක්ෂරතාවය තිබේදැයි නොඅසන තරම් වේ. එයට හේතුව වන්නේ පරිගණක සාක්ෂරතාවය අවශ්‍ය නොවන නිසා නොව, එය පුද්ගලයකුට තිබිය යුතු මූලිකම හැකියාවක් ලෙසින් සිතනා තරමට සාමාන්‍යකරණය වී ඇති බැවිණි. අනාගතයේදී ඔබට මූලික තොරතුරු තාක්ෂණ දැනුමක් තිබීමද, එසේම Al පිළිබඳ දැනුම තිබීමද එසේ සාමාන්‍යකරණය වනු ඇත.

ඔබේ විෂයේ ප්‍රවීණයෙක්!

අනාගත රැකියා වෙළඳපොල සම්බන්ධයෙන් කතා කිරීමේදී වර්තමාන තත්ත්වය මත පිහිටා උපකල්පනය කළහොත්, ඔබේ ප්‍රවීණත්වය වැඩකට නැති වී යනු ඇතැයි කීමට නොහැක. මන්දයත් Al මෙවලම් හා කටයුතු කිරීමේදී අපට අවබෝධ වන කාරණය වන්නේ, Al මෙවලම් භාවිතා කර කාර්යයක් ඉටු කර ගැනීම සඳහා, ඔබට Al මෙවලම් භාවිතා කිරීමේ හැකියාව හුරුව සහ දැනුම අවශ්‍ය වේ. එසේම, Al මෙවලම ඔස්සේ අදාළ කාර්යය සාර්ථකව ඉටුකර ගැනීම සඳහා නිවැරදිම විධාන ලබාදීමටත්, Al මෙවලම මගින් ඉටු කර දුන් කාර්යය වඩාත් “පොලිෂ්” කර ගැනීමටත්, එසේ ඉටු කරගත් කාර්යය කෙතරම් නිවැරදි දැයි තක්සේරු කර ගැනීමටත්, එම අදාළ කාර්යයට සම්බන්ධ විෂය ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීණ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව අපට කීමට හැක්කේ, Al සහකරුවන් සිටින අනාගත වෙළඳපොළට මුහුණ දීමේ දී ඔබ යම් යම් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ලබා ගන්නා ප්‍රවීණ දැනුම කිසිසේත්ම නාස්තියක් හෝ වැඩකට නැති යමක් නොවන බවයි.

විශේෂයෙන්ම, Data science, Machine Learning Engineering යන විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධ දැනුමක් තිබීම සෑහෙන දුරට වැදගත් වනු ඇත.

එසේම මෙම දැනුම ලබා ගැනීම සඳහා, විධිමත් ඇකඩමික පුහුණුවක් ලැබීමද අනාගත රැකියා වෙළඳපොළ සඳහා අනිවාර්ය සුදුසුකමක් වනු ඇතැයි බොහෝ දෙනා කියයි. එනම්, අඩු තරමින් ඔබගේ ක්ෂේත්‍රයට සම්බන්ධ මූලික උපාධියක් හෝ තිබීම, ඔබට අනාගත රැකියා වෙළඳපොලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට සුදුසුකම වනු ඇත.

මීට අමතරව මිනිසුන් සමග වැඩ කිරීම සම්බන්ධ වන කුසලතාවයන්ට අනාගතයේදී වැඩි ඉල්ලුමක් ලැබෙනු ඇතැයි සිතීමට හැක. එනම්, ව්‍යාපෘති කළමණාකරණය, පිරිස් පාලනය ඇතුළු, සන්නිවේදනය, සහකම්පනය වැනි මිනිසුන් සමග කටයුතු කිරීමේ කුසලතාවයන් සහිත අය සඳහා අනාගත රැකියා වෙළඳපොලේ වැඩි ඉඩක් ලැබෙනු ඇතැයි අපට විශ්වාසයෙන් කීමට හැක.

එසේනම් Al තාක්ෂණයන්ගෙන්, Al සහකරුවන්ගෙන්, Al මෙවලම් වලින් සමන්විත අනාගත රැකියා වෙළඳපොළට මුහුණ දීමට ඔබ සූදානම්ද? බිය නොවන්න. ඒ සඳහා සූදානම් වීමට තවමත් ඔබට වෙලාව තිබේ!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *