අපි මුලින්ම සුර්ය විදුලි පද්ධතියක් ක්‍රියා කරන දල සැලැස්ම ගැන අවබෝධයක් ලබා ගමු. සෝලර් පැනල් එකක සිදු වෙන ප්‍රධාන කාර්යය තමයි සුර්යයා ගෙන් අපට ලැබෙන ආලෝකයේ අඩංගු වන ප්‍රකාශ වෝල්ටීයතාව එහෙම නැත්නම් photovoltaic energy එක විදුලිය බවට පරිවර්තනය කිරීම. මෙහිදී අපට ලැබෙන්නේ බැටරියකින් ලැබෙනවා වගේ සරල විදුලි ධාරාවක්. ඒ කියන්නේ DC විදුලියක්. මේ නිසා තමයි solar panels ප්‍රචලිත වුන මුල් අවධියේ එය black and white TV එකකට සහ බැටරි මගින් ක්‍රියා කරන බල්බ කිහිපයකට සීමා උනේ. දිවා කාලයේ දී ලැබෙන සුර්යාලෝකය විදුලිය බවට පරිවර්තනය කර බැටරියක් ආරෝපණය කිරීමත් රාත්‍රී කාලයේ බැටරිය මගින් විදුලිය ලබාගැනීමත් මුලික සැකැස්ම විදියට තිබු මෙම පද්ධති වලට තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ උපාංග එකතු උනා. ඇත්තෙන්ම මෙම උපාංග එකතු උනේ සුර්ය විදුලි පද්ධතිවල තිබු යම් යම් දුර්වලතා මග හරවා ගැනීමට කියල කිව්වොත් නිවැරදියි.

එම දුර්වලතා වලින් ප්‍රධානම ගැටලුව උනේ සුර්ය පැනල වලින් සරල ධාරා (DC) නිපදවීමත්, ජාතික විදුලි පද්ධතිය ප්‍රත්‍යවර්ත ධාරා (AC) ලෙස ලැබෙන නිසා නිවසේ තිබෙන සියලුම උපාංග ප්‍රත්‍යවර්ත ධාරා (AC) වලින් ක්‍රියා කිරීමත් යන ගැටලුව. මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට සුර්ය විදුලි පද්ධතිවලට Inverter නැමති උපාංගය එකතු උනා. inverter එකේ කාර්යය වන්නේ සුර්ය පැනලයෙන් ලැබෙන DC විදුලි ධාරාව AC ධාරාවක් බවට පරිවර්තනය කිරීමයි. සුර්ය පද්ධති වලට බලපානු ලැබූ අනෙක් ප්‍රධාන ගැටලුව වුයේ සුර්ය පැනල මත පතිත වන හිරු එලිය, පැනලයේ ආයු කාලය, පැනල මත ඇති දුවිලි වැනි කාරණා සමඟ නිපදවන වෝල්ටීයතාව හා ධාරාව නිතර වෙනස් වීම. මේ ගැටලුව නිසා පද්ධතියේ බැටරි ආරෝපණය බොහෝ අවස්ථා වල ගැටලුකාරී වුවා මෙන්ම හිරු එලිය හොඳින් පතිත වුනු විට බැටරි overcharge වීමේ ගැටළුවක්ද පැවතුනා. මෙම ගැටළු නිරාකරණය කිරිඉමට සුර්ය පද්ධතියට එකතු වුන උපාංගය තමයි MPPT (Maximum Power Point Tracking) Charge Controller කියන්නේ. මෙය DC to DC converter එකක්. මෙමගින් බැටරි පද්ධතිය හා සුර්ය පැනල පද්ධතියේ විදුලි ධාරාවන් සමතුලිත කර පද්ධතියට ආරක්ෂාවක් සපයනවා. වර්තමානය වන විට Inverter එක හා MPPT charge controller එක, එක් උපාංගයක් ලෙස වෙළඳපලේ දැක ගන්න පුළුවන්.


සුර්ය විදුලි පද්ධති ගැන තව දුරටත් කතා කරන්න කලින් එහි ඉතිහාසය ගැනත් පොඩ්ඩක් විමසල බලමු. සෙලිනියම් නැමති මුල ද්‍රව්‍යයෙන් සුර්ය කෝෂයක් නිපදවනු ලැබුවේ Charles Fritts නම් වූ විද්‍යාඥයා විසින්. ඒ 1883 වසරේදී. නමුත් අද භාවිතා වන සිලිකන් වලින් සැදුනු සුර්ය කෝෂ සොයා ගනු ලැබුවේ 1954 වසරේ දී. ඒ Daryl Chapin, Calvin Fuller, සහ Gerald Pearson යන විද්‍යාඥයන් විසින්. සුර්ය පැනල පළමු වරට ප්‍රයෝගිකව යොදාගත්තේ අභ්‍යවකාශ මෙහෙයුම් වලට. 1958 වසරේදී Vanguard I චන්ද්‍රිකාවට සුර්ය පැනල යොදාගත්තා. පසුව Vanguard II , Explorer III and Sputnik-3 යන මෙහෙයුම් වලටත් සුර්ය පැනල භාවිත කරා. සුර්ය පැනල භාවිතයෙන් ගොඩනැගිල්ලක් බලගැන්වීම මුලින්ම වාර්තා වන්නේ 1973 වසරේදී. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ Delaware විශ්ව විද්‍යාලයෙන්. එම ව්‍යාපෘතිය solar one ලෙස හැඳින්වෙනවා. සුර්ය පැනල වල කාර්යක්ෂමතාව ගැන කතා කලොත් 1957 වසර වගේ කාලයේදී 8% වැනි සුළු අගයක් වුනත් වර්තමානය වන විට 35% ක් වැනි අගයකට වැඩි දියුණු වී තිබෙනවා. එමෙන්ම 1957 වසරේ දී සුර්ය පැනලයකින් වොට් එකක් නිපදවීම සඳහා ඩොලර් 300ක් පමණ ඉහල අගයක පිරිවැයක් තිබුනත් අද වන විට එය වොට් එකක් සඳහා ඩොලර් බාගයක් පමණ අඩු පිරිවැයක් වන තරමටම තාක්ෂණය දියුණු වෙලා.

මෝටර් රථ,අභ්‍යවකාශ මෙහෙයුම්, වීථි ලාම්පු, ආදී විවිධ ක්ෂේත්‍ර වල සුර්ය පැනල භාවිතා උනත් අප වැඩි වශයෙන් දකින්නේ නිවාස හා ගොඩනැගිලි මත සවිකළ සුර්ය විදුලි පද්ධති නිසා අප ඒ ගැන විස්තරාත්මකව කතා කරමු. මෙම සුර්ය විදුලි පද්ධති අපට ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ , ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවූ එහෙම නැත්නම් off grid solar systems හා ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ එහෙම නැත්නම් Grid Connected Solar Systems වශයෙන්.

Off grid solar system එකකින් ඔබ ලබා ගන්නා විදුලි බලය භාවිතා වෙන්නේ පද්ධතියේ Battery Bank එකක් තියෙනවා නම් ඒවා charge වෙන්නත් නිවසේ උපාංග වල පරිහරණයටත් පමණයි. ඔබේ නිවසේ විදුලිය ලබාගන්නේ සුර්ය බලයෙන් ද ජාතික විදුලි බල පද්ධතියෙන් යන්න තීරණය කරන්නේ ඔබ විසින්මයි. මෙම පද්ධති සවි කිරීමට යන වියදම Grid Connected System එකකට වඩා අඩුයි. ඒ වගේම ඔබට තාක්ෂණික දැනුම තිබෙනවා නම් ඔබටම කරගන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් දිවා කාලයේ විදුලි අවශ්‍යතාව සහ බැටරි ආරෝපණය සිදුකිරීමටත්, පරිභෝජනය අනුව රාත්‍රී 10 පමණ වන තෙක් Battery Bank එකෙන් විදුලිය ලබා ගැනීමටත් ඉන් පසු ජාතික විදුලි බල පද්ධතියෙන් ලබා ගැනීමටත් හැකි වන පරිදි off grid solar system භාවිතා කරන පුද්ගලයන් ලංකාවේ ඕනෑ තරම් සිටිනවා.
Grid Connected System එකකදී ඔබේ සුර්ය බල පද්ධතියෙන් උත්පාදනය වන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතුවෙනවා. මෙම ක්‍රමය ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවක සිට භාවිතා උනත් ලංකාවට හඳුන්වාදුන්නේ 2010 වසරේදී සුර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය යටතේ. කෙසේ වෙතත් මෙම සුර්ය බල සංග්‍රාමයට ව්‍යාපෘතියට අකුල් හෙලපු පිරිසක් සිටින බවටත් සමාජයේ කතා බහක් තිබෙනවා. පුද්ගලික ඩිසල් විදුලි බලාගාර හිමිකරුවන් හා ඔවුන් සම්බන්ධ පුද්ගලයන් මේ අතරෙන් ඉදිරියෙන්ම සිටි බවයි කියවෙන්නේ. Grid Connected System එකක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නම් ඔබට ලංවිම හෝ LECO සමග ගිවිසුමකට යටත් වෙන්න සිදුවෙනවා. තවද ඔබේ පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට සුදුසු ආකාරයෙන් ආරක්ෂිතව සවි කර තිබීමත් අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන් ගිවිසුමේ කාලය වසර 20ක්. මේ සඳහා ඔබට තෝරාගත් හැකි පද්ධති ක්‍රම 3ක් තිබෙනවා.
- Net Metering
- Net Accounting
- Net Plus
Net Metering / Net Accounting යන ක්‍රම දෙකෙහිම සුර්ය බල පද්ධතිය සකස් වන්නේ එකම ආකාරයට. නමුත් ඔබේ විදුලි බිල ගණනය වන ක්‍රමය වෙනස් වෙනවා. මේ ක්‍රම දෙකේම ඔබේ සුර්ය විදුලි පද්ධතියෙන් නිපදවන විදුලිය ප්‍රධාන වශයෙන් නිවසේ භාවිතයට ලබා ගන්නවා. අතිරික්තය තමයි ජාතික විදුලි පද්ධතියට එකතු වෙන්නේ. මෙසේ ඔබ අතිරික්තව ජාතික විදුලි පද්ධතියට ලබා දෙන විදුලිය හා ජාතික විදුලි පද්ධතියෙන් ඔබ ලබා ගන්න විදුලි එකක ප්‍රමාණය අතර වෙනස Import Export මීටරයක් මගින් මනිනු ලබනවා. ඔබ ජාතික විදුලි පද්ධතිය ලබා දුන් ප්‍රමාණය ට වඩා වැඩි ඒකක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියෙන් ලබා ගෙන තිබෙනවා නම් එම වැඩි පුර ලබා ගත් ප්‍රමාණයට පමණක් ඔබ ගෙවන ගාස්තු ක්‍රමය යටතේම බිල්පත ගණනය වනවා. ඔබ ජාතික විදුලි පද්ධතිය ලබා දුන් ප්‍රමාණය ට අඩු ඒකක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියෙන් ලබා ගෙන තිබෙනවා නම් එම අතිරික්තව ලබාදුන් ප්‍රමාණයට පමණක් ඔබට ගෙවීම් ලැබෙනවා. මෙහිදී Net Metering යටතේ ඔබේ අතිරික්ත ඒකක ප්‍රරමාණයට මුදල ලැබීමක් සිදුවන්නේ නෑ. අය කරගත් ඒකක ප්‍රමාණය ඉදිරියට ගෙන යාමක් පමණයි සිදුවන්නේ. නමුත් Net Accounting යටතේ ඔබ නිපදවූ අතිරික්ත ඒකක ප්‍රමාණයට මුල් වසර 7 තුල ඒකකයට රු 22.00 ක්ද ඉන්පසු වසර 20 තෙක් ඒකකයට රු.15.50 ක් ද වශයෙන් මුදල් ගෙවීමක් සිදුවෙනවා.

Net Plus ක්‍රමය යටතේ ඔබේ සුර්ය පද්ධතියේ සැකැස්ම සුළු වශයෙන් වෙනස් වෙනවා. මෙහිදී ඔබේ සම්පුර්ණ සුර්ය බල උත්පාදනය ඒ සඳහාම වෙන්වූ export meter එකක් මගින් මනිනු ලබන අතර ඔබ භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණයද සම්පුර්ණයෙන්ම import Meter එක මගින් ගණනය කරනවා. ඔබ භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණය සඳහා සාමාන්‍ය ලෙස බිල් පත ගණනය වන අතර උත්පාදනය කරන සුර්ය විදුලි ඒකක ප්‍රමාණයට මුල් වසර 7 තුල ඒකකයට රු 22.00 ක්ද ඉන්පසු වසර 20 තෙක් ඒකකයට රු.15.50 ක් ද වශයෙන් මුදල් ගෙවීමක් සිදුවෙනවා. කෙසේ වුවත් Net Plus ගිවිසුම යටතේ ලංවිම හෝ LECO ආයතනය ඔබෙන් මසකට මිලදී ගන්නා උපරිම විදුලි ඒකක ගණන ගිවීසුමේ සඳහන් කරනවා. එම ප්‍රමාණයට වඩා උත්පාදනය වන සුර්ය විදුලියට ඔබට ගෙවීම් ලැබෙන්නේ නෑ.

සුර්ය විදුලි පද්ධතියක් සඳහා ඔබ යොදන මුදල ඔබට නැවත ලාබයක් ලෙස ලැබෙන්නේ ඔබේ විදුලි බිල අඩුවීමෙන්, CEB හෝ LECO මගින් ලැබෙන ආදායමකින් හෝ මෙම ක්‍රම දෙකෙන්ම. ඉතින් මෙම ලාබය උපරිම ලෙස ලබා ගැනීමට නම් ඔබ සැලකිය යුතු කරුණු කීපයක් තිබෙනවා.
ඔබේ නිවසේ විදුලි පරිභෝජනය පිලිබඳ අදහසක් ලබාගැනීම හා ඒ අනුව සුදුසු සුර්ය බල ධාරිතාව තීරණය කිරීම. සුර්ය විදුලි පද්ධතිය ඔබේ නිවසේ උපරිම උපාංග ප්‍රමාණයක් භාවිත වන අවස්ථාවේදී වැයවන විදුලි බල ප්‍රමාණය ට වැඩි ධාරිතාවකින් යුත් Inverter එකක් ඔබ තෝරාගත යුතු අතර එයට සුදුසු MPPT Charge Controller තෝරාගැනීමද සිදු කල යුතු වනවා. ඔබ රාත්‍රී කාලයේ සුර්ය බල පද්ධතියේ විදුලිය භාවිතා කරනවාද නැද්ද හා කොපමණ වෙලාවක් භාවිතා කරනවද යන සාධක මත ඔබ විසින් තොර ගත යුතු බැටරි ප්‍රමාණය තීරණය වෙනවා. සුර්ය බල පද්ධති සඳහා සාමාන්‍ය Lead Acid බැටරි සුදුසු වන්නේ නෑ. ඒ සඳහා සුදුසු වන්නේ Deep Cycle බැටරි. අවශ්‍ය බැටරි වල ධාරිතාව ගණනය පිලිබඳ විස්තර කිරීමක් මිට පෙර අපගේ “UPS එකක් තොර ගන්නේ කොහොමද” කියන ලිපියෙන් ඔබට බලා ගන්න පුළුවන්. ඔබට සුර්ය පද්ධතිය සඳහා ද එම ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. ඔබ බැටරි පද්ධතියක් භාවිතා කරනවාද නැද්ද යන්න අනුව එයට ගැලපෙන Inverter හා MPPT Charge Controller තෝරා ගත යුතු වෙනවා.
සුර්ය පැනල සවි කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම. පැනල වලින් උපරිම කාර්යක්ෂමතාව ලැබීමට නම් දවසේ වැඩි කාලයක් හිරු එලිය හොඳින් වැටෙන වහලයක් හෝ ස්ථානයක් තෝරාගත යුතුය. ලංකාවේ පිහිටීම අනුව වඩාත් සුදුසු වන්නේ දකුණට හා නැගෙනහිරට ආනත වූ වහලයන්. වහලයේ පිහිටි ආනතිය නොමැතිව ආධාරක මගින් අංශක 7 ත් 10 ත් අතර ආනතියක සුර්ය පැනල සවි කරොත් උපරිම කාර්යක්ෂමතාවක් ලබාගත හැකියි. වහලයේ සුර්ය පද්ධතිය සඳහා යොදා ගත හැකි වර්ගඵලය අනුව භාවිතා කල හැකි පැනල ප්‍රමාණයත් ඒ අනුව පද්ධතියේ උත්පාධන ධාරිතාවත් රඳා පවතින බැවින් එය ඔබේ අවශ්‍යතාවට ගැලපෙන ලෙසත් Inverter හා MPPT charge Controller සමග ගැලපෙන ලෙසත් තෝරාගත යුතුයි. තවද සුර්ය පැනල සවි කිරීමේදී වාතයෙන් සිසිලනය විය හැකි පරිදි සුදුසු ඉඩ තැබීමටත්, සුදුසු පරිදි අකුණු නිවාරක භාවිතා කිරීමටත්. පිරිසිදු හා නඩත්තු කටයුතු වෙනුවෙන් ලඟා විය හැකි පරිදි සවි කිරීමටත් , අධික තාපයට හා හිරු එලියට දීර්ග කාලයක් තිස්සේ නිරාවරණයට ඔරොත්තු දෙන පරිදි කේබල් තෝරා ගැනීමටත් ඔබ වග බලා ගත යුතුය.
ඔබට වඩාත් සුදුසු වන සුර්ය විදුලි පද්ධතිය තෝරාගැනීම. ඔබේ මාසික පරිභෝජනය, පද්ධතිය සඳහා වැයවන මුදල හා ලාභය අනුව ඔබට වඩාත් සුදුසු Off Grid ද Grid Connected ද?, Grid Connected නම් Net Metering ද Net Accounting ද Net Plus යන්න ඔබ විසින් තොරා ගත යුතුය. ඉතින් අප විශ්වාස කරනවා දැන් ඔබට විවිධ ආයතන වල sales promotion වලට නොරැවටී නිවැරදිව සුර්ය විදුලි පද්ධතියක් තෝරාගන්න හැකිවේවි.
උපුටා ගැනීම: global insights.lk
