Elon Musk ගේ SpaceX සමාගම පෘථිවියෙන් එහාට තමන්ගේ සන්නිවේදන ජාලය ව්‍යාප්ත කරන්න සුවිශේෂී උත්සාහයක නිරත වෙලා ඉන්නවා.. ඒ අනුව සඳ වෙතට ඉහළ වේගයකින් යුත් සන්නිවේදන පහසුකම් සැපයීම වෙනුවෙන් Starlink ජාලය සඳ දක්වා දීර්ඝ කිරීම ඔවුන්ගේ මීළඟ ඉලක්කයයි…
මෙම නව සැලසුම යටතේ සඳ වටා කක්ෂගත කෙරෙන චන්ද්‍රිකා පද්ධතියක් මඟින්, දැනට පෘථිවි කක්ෂයේ සාර්ථකව ක්‍රියාත්මක වන Starlink චන්ද්‍රිකා ජාලය සමඟ සෘජුව සම්බන්ධ වීමට නියමිතයි.. දැනට පෘථිවිය වටා ඇති Starlink චන්ද්‍රිකා 10,000කට අධික ප්‍රමාණයක් දිනකට පේටාබයිට් (Petabytes) 42ක පමණ දත්ත ප්‍රමාණයක්, තත්පරයට ගිගාබිට් 100ක (100 Gbps) සුපිරි වේගයකින් හුවමාරු කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සඳේ සිට පෘථිවියට දත්ත හුවමාරු කිරීමට සාමාන්‍ය රේඩියෝ තරංග වෙනුවට දැනටමත් Starlink හි භාවිතා වන දියුණු ලේසර් තාක්ෂණය භාවිතා කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා…
මෙමඟින් සාමාන්‍යයෙන් සන්නිවේදනය ඉතා අපහසු සඳෙහි පිටුපස පැත්තට පවා ගිගාබිට් මට්ටමේ ඉහළ අන්තර්ජාල වේගයක් ලබා දීමට හැකියාව ලැබෙනවා.. මෙහි ප්‍රතිඵලයක් ලෙස නාසා හි Artemis මෙහෙයුම්වල නිරත වන ගඟනගාමීන්ට, රෝවර් යානාවලට සහ සඳ මත ඉදිවන පර්යේෂණ මධ්‍යස්ථානවලට කිසිදු බාධාවකින් තොරව සජීවී වීඩියෝ දර්ශන සහ විශාල දත්ත ප්‍රමාණයක් ක්ෂණිකව පෘථිවිය වෙත එවීමට අවස්ථාව සැලසෙනු ඇත..
මෙය තවමත් පවතින්නේ මූලික පර්යේෂණ මට්ටමේ බැවින් නිශ්චිතවම ක්‍රියාත්මක වන දිනයක් ප්‍රකාශ කර නොමැති වුවද, වාණිජ මට්ටමේ බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් පෘථිවියෙන් එහාට රැගෙන යාමට SpaceX සතු දූරදර්ශී දැක්ම සහ වර්තමාන ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදන සීමාවන් බිඳ දැමීමට ඔවුන්ට ඇති හැකියාව මෙයින් මැනවින් පැහැදිලි වෙනවා. සරලවම කිව්වොත් Elon Musk මේ සූදානම් වෙන්නේ අභ්‍යවකාශය පුරාම වෙනමම ඉන්ටර්නෙට් ජාලයක් ගොඩනැඟීමටයි.
උපුටා ගැනීම : dinith__m
