iPhone 16: එන්නට නියමිත නවතම අයිෆෝන් එක ගැන දැනට දැනගන්න තියෙන හැමදේම

Author
By Author

ඇපල් සමාගම තමන්ගේ සාඩම්බර යුනිකෝන් නිෂ්පාදනය ලෙසින් සලකන අයිෆෝනයක් පාවිච්චි නොකරන, පාවිච්චි කර නොමැති අයෙකු, බොහෝ විට අයිෆෝන් ලෝලියෙකුගෙන් අසන පැනය වන්නේ, “අයිෆෝන් එකක් පාවිච්චි කරන්නේ මන්ද?” කියායි. එයට පිළිවදන් දෙනඅයිෆෝන් ලෝලියෙකු අසන්නේ “තවමත් ඇපල් අයිෆෝන් එකක් පාවිච්චි කර නොමැත්තේ මන්ද?” කියායි!

අයිෆෝන් සඳහා ලෝකය පුරා ඇති ඉල්ලුම පිළිබඳවත්, සුඛෝපභෝගී ස්මාට්ෆෝන් ලෝකයේ පුරෝගාමියා ලෙසට අයිෆෝන් සඳහා ලෝකයේ ඇති තැන පිළිබඳවත් කෙතරම් තර්ක විතර්ක තිබුණද, 2007 වසරේ නිකුත් වූ විප්ලවීය ප්‍රථම iඅයිෆෝනයේ සිට, 2023 සැප්තැම්බරයේ නිකුත් වූ iPhone 15 ස්මාට්ෆෝනය දක්වාම, ස්මාට්ෆෝන් ලෝකයේ ඉහළම තත්ත්වයක් පවත්වා ගන්නට ඇපල් සමාගම සමර්ථ වී තිබේ.

ඇපල් සමාගම මේ වන විට නිකුත් කර තිබෙන නවතම iPhone ස්මාට්ෆෝන් උපාංග පෙළ වන්නේ iPhone 15 වේ. මෙය 2023 සැප්තැම්බර් 22 සිට මිලදී ගැනීමට ද හැකිවිණි.

මේ වන විට වෙළඳපොලේ පවතින නවීනතම ඇපල් ස්මාර්ට්ෆෝන් උපාංගය වන්නේ iPhone 15 වුවත්, මේ වන විටත් ඇපල් ලෝලීන් උනන්දුවන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත නවීනතම අයිෆෝන් පෙළ වන ඇපල් iPhone 16 සම්බන්ධයෙන් බව නොරහසකි.

නිකුත් වන්නේ කවදාද?

ආසන්නතම ඉතිහාසයේ ඇපල් අයිෆෝනයක් සෑම අවුරුද්දකම එළිදැක්වුණේ සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසයන් තුළ බව ඇපල් ලෝලීන් දනී. ඒ අනුවත්, නවතම ඇපල් ස්මාර්ට්ෆෝනයන් පිළිබඳව අසන්නට ලැබෙන කරුණු කාරණා අනුවත්, නවතම ඇපල් iPhone 16 පෙළ, 2024 දී, එනම් මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු හෝ දෙවන සති තුළ එළිදැක්වෙනු ඇතැයි අනුමාන කළ හැක. එම කාලයේ පෙර ඇණවුම් භාර ගැනීමත්, ඒ ආසන්නයේම නවතම ඇපල් iPhone 16 ස්මාට්ෆෝන් වෙළඳපොළට නිකුත් කිරීමක් සිදුවිය හැක.

මින් පෙර වසරේ ඇපල් සමාගම තම ඇපල් iPhone 15 ස්මාට්ෆෝනය එළිදැක්වීම සම්බන්ධයෙන් දැනුම් දෙනු ලැබුවේ, එම දිනයට සති දෙකක් පමණක් තබා බවද මතක තබාගත යුතුවේ.

AI තාක්ෂණයෙන් බලගැන්වෙන ඇපල්

AI තාක්ෂණයන්ට සහ ඒ මගින් බලගැන්වෙන මෙවලම් වලට, මිනිස් වැඩකටයුතු පහසු කර දීමටත්, කාර්යක්ෂම කරදීමටත් විප්ලවීය වෙනසක් සිදු කිරීමට හැකිවනු ඇති බවටත්, තාක්ෂණ ලෝකය නැවත හැරවිය හැකි නොවන පරිද්දෙන් AI තාක්ෂණයන් ඔස්සේ වෙනස් වනු ඇති බවටත්, පුරෝකථනයන් සහ අනාගත බලාපොරොත්තු 2023 වසරේ දී ලෝකයට ලැබිණි.

කෙසේ නමුත් මෙම 2024 වසර, එම අනාවැකි සැබෑ වන සහ එම පොරොන්දු ඉටුවන වසර බව දැනටමත් පෙනෙන්නට තිබේ. මෙම වසරේදී නිකුත් වූ ස්මාට් උපාංගයන් තුළින් මෙන්ම, පැරණි ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් පරිගණක වෙත ලැබුණු මෙහෙයුම් පද්ධති හා යෙදුම් යාවත්කාලීන කිරීම් ඔස්සේද, AI තාක්ෂණයන් දැඩිව ස්මාට් උපාංගයන් වෙතට මුහු විණි. මෙතෙක් කල් ඔබේ ස්මාට්ෆෝනය තුළ පැවති ස්මාට් සහකරුවන්, AI සහකරුවන් බවට පරිවර්තනය වීම මෙයට උදාහරණයකි.

ඉදිරි සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන්නට නියමිතව තිබෙන, ප්‍රධානතම ඇපල් අයිෆෝන් මෙහෙයුම් පද්ධති යාවත්කාලීනය වන iOS 18, Generative AI විශේෂ අංගයන්ගෙන් බලගැන්වෙන බව දැනටමත් අසන්නට ලැබෙන කරුණකි. මෑත කාලයේ නිකුත් වූ සහ ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඇපල් අයිෆෝන් ස්මාට්ෆෝනයන් වෙතට සුවිශේෂී හැකියාවන් ලබා දෙන්නට නියමිත මෙම AI පද්ධතිය, ‘Apple Intelligence’ යන නමින් හැඳින්වෙන්නට ඉහළ හැකියාවක් තිබේ. විශේෂයෙන්ම ඒ ඔස්සේ බලගැන්වෙන Siri සහකරු, මින් පෙර ඇපල් ලෝලීන් නොදුටු විරූ හැකියාවන්ගෙන් බලසම්පන්න වනු ඇතැයි අපට අපේක්ෂාවන් තබාගත හැක.

මාදිලි පහක්?

ආරංචි මාර්ග පවසන්නේ, මෙම වසරේ නවතම ඇපල් iPhone 16 ස්මාට්ෆෝන් පෙළ, උපාංග හතරකින් සමන්විත වනු ඇති බවයි. මින් පෙර තිබූ iPhone නිකුත් කිරීමේ ඇපල් භාවිතාව සමඟ බලන විට, මෙම නවතම ස්මාට්ෆෝන් පෙළ, iPhone 16, iPhone 16 plus, iPhone 16 pro, සහ iPhone 16 pro max විය හැකි යැයි අපට අනුමාන කළ හැක. මෙම අනුමානයට එක් හේතුවක් වන්නේ, මේ වන විට අනාගත අයිෆෝනයන් පෙළ සම්බන්ධ නිල ඇපල් හඳුන්වනයන් (Apple identifiers) පිළිබඳ තොරතුරු පිටතට කාන්දු වී තිබීමයි. මෙම හඳුන්වනයන් (identifiers), iPhone 17,1, iPhone 17,2, iPhone 17,3, iPhone 17,4, සහ, iPhone 17,5 වශයෙන් දක්නට ලැබේ.

මේ අතර, මෙම ඇපල් හඳුන්වනයන් පහ ඔස්සේ තවත් බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ, අයිෆෝනයක් තමන් සතු කොට ගැනීමට ලැදි, නමුත් වඩාත් පොකට්ටුවට මිත්‍රශීලී විකල්පයක් සොයන ඇපල් ලෝලීන්ගෙන් සැදි විශාල වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීම සඳහා, ඇපල් සමාගම මෙම iPhone 16 ස්මාට්ෆෝන් පෙලේ එකක් ලෙසින්, නවතම බජට් iPhone SE ස්මාට්ෆෝනයක් ද නිකුත් කිරීමට ඉඩ ඇති බවයි.

බලසම්පන්න A18 චිපයක්?

එසේම මෙම ඇපල් හඳුන්වනයන් (Apple identifiers) සියල්ල එකම අංකයකින් ආරම්භවීම අනුව, බොහෝ දෙනකු අනුමාන කරන අනෙක් කාරණාව වන්නේ, මෙම සැප්තැම්බරයේදී වෙළඳපොළට නිකුත් වන්නට නියමිත නවතම iPhone 16 මාදිලි සියල්ලටම, ඇපල් සමාගමේ බලසම්පන්න A18 bionic චිපය ඇතුළත් වනු ඇති බවයි. මෙසේ අනුමාන කිරීමට හේතුව වන්නේ, පසුගිය වසරේ iPhone ස්මාට්ෆෝන් පෙළ නිකුත් කිරීමට පෙර iPhone 15 සහ iPhone 15 plus ස්මාට්ෆෝනයන්, iPhone 15,4 සහ iPhone 15,5 යනුවෙන් හැඳින්වීමත්, එම අයිෆෝනයන් වෙළඳපලට ආවිට ඒවා A16 bionic SoC කිපයෙන් බලගැන්වුණු බව පෙනී යෑමත් වේ. එසේම, iPhone 16,1 සහ iPhone 16,2 යන හඳුන්වනයන් තිබූ ස්මාට්ෆෝනයන්, iPhone pro සහ iPhone 15 pro max ලෙසින් වෙළඳපොළට පැමිණි අතර, එම ස්මාට්ෆෝනයන් A17 pro bionic චිපයෙන් බලගැන්වී තිබිණි.

මෙම වසරේ ද ඇපල් සමාගම ඉහත ආකාරයේ හඳුන්වනයන්ගෙන් තමන්ගේ නවතම ඇපල් අයිෆෝනයන් හඳුන්වා දෙන්නේ නම්, වඩාත් වේගවත්, වඩාත් බලසම්පන්න A18 bionic චිපයෙන් බලගැන්වෙන iPhone ස්මාට්ෆෝනයන් පෙළක් මෙම වසරේදි අපට දැක ගැනීමට හැකිවනු ඇත.

තවත් විශේෂාංගයන් රැසක්!

මෙම වසරේදී නිකුත් වීමට නියමිත නවතම iPhone 16 මාදිලි පෙළ සම්බන්ධයෙන් තවත් තොරතුරු අසන්නට ලැබේ. ඉන් එකක් වන්නේ, මෙම වසරේ වඩාත් විශාල iPhone මාදිලි කිහිපයක් තිළිණ කරන්නට ඇපල් සමාගම උත්සුක වනු ඇති බවයි. එනම් iPhone 16 pro සංස්කරණයන් සඳහා වඩාත් විශාල අඟල් 6.3 සහ අඟල් 6.9 ප්‍රමාණයේ තිරයන් හඳුන්වා දෙනු ඇති බවයි.

එසේම නව “capture” බොත්තමක්, සහ සියලුම මාදිලි සඳහා dedicated action බොත්තම් විකල්පයක්ද දක්නට ලැබෙනු ඇතැයි කියවේ.

මීට අමතරව, නවතම Wi-Fi 7 සංස්කරණයද තව iPhone 16 පෙළ වෙත ඇතුළත් වනු ඇතැයි පිටතට කාන්දු වූ තොරතුරු වලින් කියැවේ.

එසේම,

ඇපල් ලෝලීන් මෙම සියලුම කරුණු වලට අමතරව දැනගැනීමට පුල පුලා බලා සිටින කාරණය වන්නේ, මෙම නව iPhone 16 පෙළ කෙබඳු මිලකට අලෙවි කිරීමට ඇපල් සමාගම තීරණය කරනු ඇතිද යන්නයි. විශේෂයෙන්ම, මේ වන විට වඩාත් ස්ථාවර වෙමින් පවතින ඇමෙරිකානු ඩොලරයේ අගයත් සමඟ, ශ්‍රී ලංකාවේ ඇපල් ලෝලීන් හට වඩාත් දැරිය හැකි මුදලකට නවතම iPhone 16 ස්මාට්ෆෝනයක් මිලදී ගැනීමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *