MrBeast සහ Mark Rober

Mic
By Mic

මීට වසරකට කලින් 2025 අගෝස්තු මාසයේදි ප්‍රසිද්ධ YouTuber කෙනෙකු වන MrBeast සහ Mark Rober එකතු වී ආරම්භ කළ #TeamWater දැවැන්ත සමාජ මෙහෙයුමට වසරක් සපිරෙනවා.. දින 31ක් වැනි කෙටි කාලයක් ඇතුළත ලොව පුරා සිටින Creators සහ ලොව වටා ඉන්න මිනිස්සු සිය දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ඩොලර් මිලියන 40කට අධික අරමුදලක් රැස් කිරීමට ඔවුන් සමත් වුණා…

වසරක් පිරීම නිමිත්තෙන් Jimmy Donaldson, Mark Rober ඇතුළු #TeamWater කණ්ඩායම විසින් මෙම අරමුදලට මුදලින් දායක වූ සියලුම දෙනා වෙත විශේෂ ස්තූති පූර්වක Email පණිවිඩයක් යොමු කර තිබෙනවා..

ඔයා, $5ක් හෝ $5,000ක් පරිත්‍යාග කළද, සෑම ඩොලරයක්ම සැබෑ වෙනසක් සිදු කිරීමට දායක වූ බව සඳහන් කරමින්, මේ වන විට සිදුකර ඇති වැඩකටයුතු දැක්වෙන විශේෂ වීඩියෝවක් ද පරිශීලකයින් වෙත බෙදාහැර තිබෙනවා.. පළමු වසර ඇතුළත පමණක් මෙලෙස 225,000කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට #TeamWater එකට හැකිවී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ වූයේ එකතු වන සෑම ඩොලර් 1කින්ම එක් අයෙකුට වසරක් පුරා පිරිසිදු පානීය ජලය ලබා දීමයි. ඒ අනුව රැස්වූ ඩොලර් මිලියන 40 මඟින් ලොව පුරා පිරිසිදු ජල පහසුකම් නොමැති මිනිසුන් මිලියන 2ක් වෙනුවෙන් වසර ගණනාවක් පවතින ස්ථිර ජල ව්‍යාපෘති ගොඩනැගීම ආරම්භ කෙරුණා…

සියලුම මුදල් direct ලෙස WaterAid, DigDeep, GivePower සහ Alok Institute වැනි අත්දැකීම් බහුල ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කරමින් Solar-powered water systems, ජල පයිප්ප පද්ධති සහ පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගත්තා.

ව්‍යාපෘතිය ආරම්භ කර වසරක් පිරෙන මේ වන විට Tanzania, Kenya, West Virginia සහ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිත දේශීය ජනතාව ඇතුළු විශාල පිරිසකට දැනටමත් ආරක්ෂිත පිරිසිදු පානීය ජලය හිමිවී තිබෙනවා..

මීට අදාළ ප්‍රගති වාර්තාව සහ වීඩියෝවක් පසුගියදා teamwater [ඩොට්] org වෙබ් අඩවිය හරහා නිකුත් කිරීමට ඔවුන් කටයුතු කළා..

ඕනෑම දැවැන්ත Influencer-led ව්‍යාපෘතියකට මෙන්ම #TeamWater එකටද අන්තර්ජාලය තුළින් විවිධ විවේචන එල්ල වුණා.. RayAsianBoy සහ Adin Ross වැනි සුප්‍රකට Streamerලා මෙන්ම ඇතැම් පිරිස් මෙය “Scam” එකක්දැයි ප්‍රශ්න කරමින්, මුදල් යෙදවූ ආකාරය පිළිබඳ වැඩිදුර සාක්ෂි ඉල්ලා සිටියා..

එපමණක් නොව, MrBeastගේ නම සහ ව්‍යාපෘතියේ නම අවභාවිත කරමින් වංචනිකයින් විසින් ක්‍රිප්ටෝ වංචා සිදු කරමින් එක් ප්‍රධාන දායකයෙකුගෙන් ඩොලර් මිලියන 1.25ක් වංචා කළ පුවතක්ද වාර්තා වුණා. ඊට එරෙහිව MrBeast සෘජුවම අදහස් දක්වමින් අදාළ වංචාකරුවන් අල්ලා ගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටියා..

විවේචන මතුවීම සාමාන්‍ය දෙයක් වුවද, WaterAid වැනි විනිවිදභාවයෙන් ඉහළ සංවිධාන සමඟ එකතු වී සිදුකරන මෙම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත වී ඇති බවට කිසිදු පදනම් සහිත සාක්ෂියක් හමුවී නැහැ. MrBeast සහ පිරිස පෙන්වා දෙන්නේ ක්ෂණික විසඳුම් වෙනුවට වසර ගණනාවක් පවතින ශක්තිමත් යටිතල පහසුකම් සකස් කිරීමට කාලය ගතවන බවයි..

2030 වන විට මිනිසුන් මිලියන 2කට පිරිසිදු ජලය හිමිකර දීමේ දීර්ඝකාලීන ඉලක්කය වෙනුවෙන් #TeamWater කණ්ඩායම අඛණ්ඩව කැපවී සිටිනවා. අන්තර්ජාලයේ මතු වන විවිධ මතවාද හමුවේ වුවද, ලෝකයේ දුෂ්කරම කලාපවල ජීවත්වන දහස් ගණනක් මිනිසුන්ගේ පිපාසය නිවීමට ලැබුණු දායකත්වය සැබවින්ම විශාල වෙනසක් සිදුකර තිබෙනවා!

Dinith Maleesha

Share This Article