ලෝකයේ වැඩිම අලෙවියක් වාර්තා කළ, එසේම අදටත් වඩාත්ම ජනප්‍රිය පරිගණක ගේම් එක කුමක්දැයි යමෙකු ඇසුවොත් ඊට ලැබෙන එකම පිළිතුර වෙන්නේ Minecraft යන්නයි.. අද වන විට පිටපත් මිලියන 350කට වඩා අලෙවි වී තියෙන මේ ගේම් එක, ගෝලීය වශයෙන් ගිනස් ලෝක වාර්තාවලටද ඇතුළත් වී තිබෙනවා..
2009 වසරේදී Markus Persson (Notch) කියන ස්වීඩන් ජාතික Developer විසින් Java පාවිච්චි කරලා මේක develop කළා කියලා ගොඩක් අය දන්නව වුනත්, මේක පිටිපස්සෙ තියෙන්නේ තාක්ෂණය හරිම අමුතුයි..
Minecraft එකේ ප්‍රධාන තාක්ෂණික හදවත වෙන්නේ Procedural Generation කියන ගණිතමය ක්රමවේදයයි.. මේ ගේම් එකේ කිසිවිටෙකත් විශාල Map එකක් Hard Drive එක තුළ File එකක් ලෙස Save කර තබන්නේ නැහැ.. ඒ වෙනුවට 64-bit අගයකින් යුත් “World Seed” නම් සංඛ්‍යාවක් මත පදනම්ව landscape එක ගණනය කරනු ලබයි.. මෙහිදී 1980 ගණන්වල Film Visual Effects වෙනුවෙන් Ken Perlin විසින් සොයාගත් Perlin Noise නම් Gradient Noise ඇල්ගොරිතමයේ Octaves කිහිපයක් එකිනෙක Layer කිරීමෙන් fractal රටා සකස් කර Biomes, කඳු පන්ති සහ ගුහා පද්ධති ක්ෂණිකව නිර්මාණය කෙරේ..
Endless ලෝකයක් සාමාන්‍ය පරිගණක යන්ත්‍රයක පවා කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට භාවිත කර ඇති ප්‍රධානම උපක්‍රමය වන්නේ World Chunks ක්රමවේදයයි.. ලෝකය කුඩා Chunks වලට බෙදා, පරිශීලකයා ගමන් කරන දිශාවට අනුව පමණක් ක්ෂණිකව Chunk Generation සිදුකරන අතර, ඈතින් ඇති කොටස් Proto-chunks ලෙස රඳවා තබා ගනිමින් පද්ධතියේ RAM ප්‍රමාණය අතිශය කාර්යක්ෂමව පාලනය කරයි..
එමෙන්ම Java Edition (Original Codebase එක) සහ C++ වලින් ලියවුණු Bedrock Edition ලෙස වෙනස් Codebases දෙකක් පවත්වාගෙන යමින් Cross-Platform Performance පාලනය කිරීම, Mojang ඉංජිනේරුවන්ට තාක්ෂණික වශයෙන් විශාල අභියෝගයක් මෙන්ම නිරන්තරයෙන් Parity එක පවත්වා ගැනීමට සිදුවන කාර්යයකි…
මේකේ තියෙන අනිත් තාක්ෂණික මැජික් එක වෙන්නේ “Redstone” කියන Electrical පද්ධතියයි.. ඒක සරල ගේම් feature එකකින් ඔබ්බට ගොස් Logic Gates, Latches, Flip-flops සහ Clocks තැනිය හැකි, එනම් පරිගණක විද්‍යාවට අනුව Turing Complete වූ සැබෑ digital engineering පද්ධතියක් බවට පත්ව තිබෙනවා..
ක්‍රීඩකයින් විසින් Redstone Signal එකකට ඇති සීමාවන් ජය ගනිමින් Minecraft ඇතුළත Minecraft 3D Clone එකක් ධාවනය කළ හැකි CHUNGUS 2 නම් working CPU එකක්, සහ මිනිස් අත්අකුරු හඳුනාගත හැකි Neural Network පවා නිර්මාණය කර තිබීමෙන් මෙහි ඇති තාක්ෂණික ගැඹුර පැහැදිලි වේ..
Open-source Modding සංස්කෘතිය, Forge සහ Fabric වැනි Mod Loaders හරහා දියුණු වෙද්දී, දැනට රටවල් 115ක සිසුන් මිලියන 35කට අධික ප්‍රමාණයක් භාවිත කරන Minecraft Education, ඩෙන්මාර්කය 1:1 පරිමාණයෙන් නිර්මාණය කිරීම, සෙන්සර් කළ පුවත්පත් කලාව ආරක්ෂා කිරීමට තැන්පත් කළ Uncensored Library, සහ 2025දී නිකුත් වී ඩොලර් මිලියන 950කට අධික ආදායමක් ලැබූ Minecraft Movie එක දක්වා මේ ගමන විහිදී තියෙනවා..
සංකීර්ණ සහ දැඩි රීති වෙනුවට, සරල සහ නම්‍යශීලී තාක්ෂණික මූලධර්ම සමූහයක් මත පදනම් වූ මෘදුකාංගයකට පරිශීලකයින්ගේ නිර්මාණශීලීත්වය සමඟ කොතරම් දුරකට විකාශනය විය හැකිද යන්නට Minecraft යනු පරිගණක ඉතිහාසයේ හොඳම උදාහරණයයි.
උපුටා ගැනීම : Dinith Maleesha
