තත්පරයට 4K චිත්‍රපට 160,000 ක් Download කරනවා හා සමාන ඇදහිය නොහැකි දත්ත සම්ප්‍රේෂණ ධාරිතාව..

Mic
By Mic

ලෝකයේ අද පාවිච්චි කරන අධිවේගී අන්තර්ජාලය එක්ක ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ගැන හිතද්දී අපේ ඔළුවට එන්නේ කෙස් ගහක් තරම් සිහින් වීදුරු නාලයක් ඇතුළෙන් ආලෝක කිරණ හරහා දත්ත ගමන් කරන විදිහ…

මේක තමයි දැනට ලෝකේ තියෙන වේගවත්ම සන්නිවේදන ක්‍රමය. හැබැයි, මේ තාක්ෂණයෙත් නොපෙනෙන පොඩි බාධකයක් තිබුණා. ඒ තමයි වීදුරු Silica Glass කියන මාධ්‍යය…

සාමාන්‍යයෙන් රික්තයක් තුළ ආලෝකය තත්පරයට කිලෝමීටර් 300,000 ක (299,792 km/s) පමණ උපරිම වේගයකින් ගමන් කරනවා…

ඒ ආලෝකයම ඝන වීදුරු කේබලයක් ඇතුළෙන් යද්දී, වීදුරු අණුවල ඇති ඝනත්වය නිසා ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර් 200,000 කට වගේ අඩු වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ සැබෑ වේගයෙන් තුනෙන් එකක් විතර අපතේ යනවා…

අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලය භාවිතා කරද්දී මේ වෙනස නොදැනුණත්, දැවැන්ත කෘත්‍රිම බුද්ධි පද්ධති සහ ලෝකයේ කොටස් වෙළඳපොළවල් අතර දත්ත හුවමාරු වෙද්දී මිලි තත්පරයක ප්‍රමාදය පවා තීරණාත්මක වෙනවා…

මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට විද්‍යාඥයින් කාලයක් තිස්සේ උත්සාහ කළේ වීදුරු වෙනුවට වාතය හරහා ආලෝකය යවන්න පුළුවන් කේබල් හදන්න. වාතය තුළ ආලෝකය රික්තකයක් තුළ වේගයට ඉතාම ආසන්න වේගයකින් ගමන් කරන නිසා…

මේ අභියෝගය ජයගනිමින් 2026 මේ ගෙවීයන නොවැම්බර් මාසයේදී චීනයේ China Telecom පර්යේෂණ ආයතනය, YOFC (Yangtze Optical Fibre and Cable) සහ ZTE සමාගම එකතුවෙලා ලෝක වාර්තාවක් පිහිටුවා තියෙනවා…

ඔවුන් සාර්ථකව කිලෝමීටර් 1,007.48 ක දුරක් පුරා වාතය පිරවූ කුහරමය ෆයිබර් (Hollow Core Optical Fiber) කේබලයක් හරහා තත්පරයට ටෙරාබිට් 128 ක (128 Tbps) දත්ත සම්ප්‍රේෂණය කරන්න සමත් වුණා…

මේක නිකම්ම හිස් බටයක් නෙවෙයි. මේ කේබලයේ හරි මැද තියෙන්නේ වාතය පිරුණු අන්වීක්ෂීය කුහරයක් (Air Filled Micro Capillary Core). ඒ කුහරය වටේට ඉතා සියුම් වීදුරු නාලිකා පොකුරක් (Micro Structured Cladding) විශේෂ ජ්‍යාමිතික රටාවකට සකස් කරලා තියෙනවා. මේ ව්‍යුහය නිසා ආලෝක කිරණ වීදුරු බිත්තිවල වැදී විසිරී යන්නේ නැතුව, මැද තියෙන වාතය පිරුණු කුහරය දිගේම කෙළින්ම ගමන් කරනවා…

මේ නව කේබලය තුළ ආලෝකය සාමාන්‍ය වීදුරු ෆයිබර්වලට වඩා 47% ක් වේගයෙන් (තත්පරයට කි.මී. 293,700 ක පමණ වේගයකින්) ගමන් කරනවා…

කිලෝමීටර් 1,007.48 ක දුරක් ගෙවා යාමට දත්තවලට ගතවෙලා තියෙන්නේ මිලි තත්පර 3.43 ක් පමණයි (සාමාන්‍ය වීදුරු ෆයිබර් එකකින් මේ දුර යන්න මිලි තත්පර 5 කට වඩා ගත වෙනවා). ඒ හරහා ජාලයේ ප්‍රමාදය 30% කින් පමණ අඩු වී තිබෙනවා…

දෙපැත්තටම එකවර 128 Tbps ක වේගයකින් දත්ත හුවමාරු කර තිබෙනවා. ඒ කියන්නේ එක තත්පරයක් ඇතුළත 4K චිත්‍රපට 160,000 ක් Download කරනවා හා සමාන දත්ත ප්‍රමාණයක්…

Hollow Core Fiber කේබල්වල තිබුණු ලොකුම ගැටලුවක් තමයි, කේබලය ඇතුළේ රැඳෙන ඉතා සියුම් කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වැනි වායූන් මඟින් ආලෝක සංඥා උරාගැනීම නිසා දත්ත දුර්වල වීම. චීන ඉංජිනේරුවන් විශේෂ නිෂ්පාදන ක්‍රමවේදයක් හරහා මේ වායු බලපෑම සම්පූර්ණයෙන්ම වගේ පාලනය කර තිබෙනවා. ඒ වගේම මේ පරීක්ෂණයට විශේෂිත මිල අධික උපකරණ වෙනුවට දැනට වෙළඳපොළේ තියෙන සාමාන්‍ය වාණිජ ඇම්ප්ලිෆයර් භාවිතා කර තිබීමත් විශේෂත්වයක්…

හැබැයි මෙහි දැනගත යුතු ප්‍රායෝගික යථාර්ථයකුත් තියෙනවා. මේ කිලෝමීටර් 1,007 කේබලය තවම නගර දෙකක් අතර පොළොව යටින් ඇදපු සජීවී මාර්ගයක් නෙවෙයි. රසායනාගාරයක් තුළ කිලෝමීටර් 2 සිට 5 දක්වා දිග ෆයිබර් රෝල් 300 කට වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ කරලයි මේ දුර නිර්මාණය කරගෙන තියෙන්නේ…

මේ කේබල් නිෂ්පාදනය කිරීම, කැඩුණු තැන් පෑස්සීම සහ පොළොව යට එළීම සාමාන්‍ය ෆයිබර්වලට වඩා ගොඩක් සංකීර්ණ සහ මිල අධික ක්‍රියාවලියක්. ඒ නිසා අපේ ගෙවල්වල තියෙන රවුටර්වලට මේ කේබල් එන්න තව බොහෝ කාලයක් යාවි…

මේ තාක්ෂණය මූලිකවම නිර්මාණය වෙන්නේ Distributed AI Supercomputing වෙනුවෙන්…

අද වෙද්දී AI පද්ධති පුහුණු කරන්න දහස් ගණනක් වූ GPU එකට සම්බන්ධ කරන්න වෙනවා. එකම ගොඩනැඟිල්ලක මේ සියල්ල තියාගන්න එක විදුලිය සහ සිසිලන පද්ධති නිසා අසීරුයි…

නමුත් මේ Hollow Core Fiber හරහා කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි AI දත්ත මධ්‍යස්ථාන දෙකක්, ඒවා එකම කාමරයක තියෙනවා වගේ කිසිම ප්‍රමාදයකින් තොරව එකට සම්බන්ධ කරලා වැඩ කරන්න පුළුවන් වෙනවා. ඇමරිකාවේ Microsoft සමාගමත් මේ වෙද්දී ඔවුන්ගේ Azure දත්ත මධ්‍යස්ථාන සඳහා මේ තාක්ෂණය අත්හදා බලමින් ඉන්නවා…

දත්ත ගමන් කරන මාධ්‍යය වීදුරු වලින් වාතයට මාරු කිරීම හරහා මිනිසා විසින් අන්තර්ජාලයේ භෞතික වේග සීමාව අලුතින්ම නිර්වචනය කරන්න පටන් අරන් තියෙනවා. මේ තාක්ෂණයන් ගැන කල්පනා කරනකොට අනාගතයේ AI සහ සුපිරි ජාල තාක්ෂණය කොහේට යයිද කියලා හිතන්නත් අමාරුයි… 🙃

~ නලින් මංජු මාකාවිට ~

Share This Article