වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි.
ශ්‍රී ලංකාව නූතන තොරතුරු තාක්ෂණික ලෝකයට පිවිසීමේ දොරටුව විවර කළේ කවුරුන්දැයි ඇසුවහොත්, ඊට දිය හැකි එකම සහ අවිවාදිත පිළිතුර වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස විරුදාවලිය ලත් විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක යන්නයි.
ගණිතඥයෙකු ලෙස සිය වෘත්තීය දිවිය අරඹා, විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහළම තනතුරු හොබවමින්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරමින්, රටේ පොදු ජනතාවට තාක්ෂණය සමීප කළ එතුමාගේ ජීවන වෘතාන්තය හුදෙක් එක් පුද්ගලයෙකුගේ කතාවක් නොව ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවයේ ඉතිහාසය ද වෙයි.
ගුරු නිවහනෙන් ඇරඹි දිවි සැරිය
වර්ෂ 1939 මැයි මස 22 වන දින උපත ලැබූ වනිගආරච්චිගේ කිත්සිරි සමරනායක දරුවාට අධ්‍යාපනය යනු ආගන්තුක දෙයක් නොවීය. පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව ගුරුවරියක් වූවාය. විශේෂත්වය වූයේ ඔහු කුඩා කල සිටම හැදී වැඩුණේ පාසල් පරිශ්‍රය තුළ පිහිටි විදුහල්පති නිල නිවාසයේ වීමයි.
රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, 1948 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වූ එතුමා, එහිදී දැක්වූ දස්කම් නිසාම 1950 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමේ වරම් හිමි කර ගත්තේය.
පාසල් අධ්‍යාපනයෙන් පසු 1956 දී කොළඹ විශ්වවිද්‍යාලයට (එවකට ලංකා විශ්වවිද්‍යාලය) ඇතුළත් වූ තරුණ සමරනායක, 1961 වසරේදී ගණිත අංශයෙන් පළමු පන්ති ගෞරව සාමාර්ථයක් සහිතව විද්‍යාවේදී (B.Sc.) උපාධිය ලබා ගත්තේය. එතුමාගේ දක්ෂතාව කෙතරම්ද යත්, උපාධිය ලබා ගත් වහාම විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස පත් කර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කළේය.
අනතුරුව 1963 දී රාජ්‍ය ශිෂ්‍යත්වයක් දිනා එංගලන්තය බලා පිටත් වූ එතුමා, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ඩිප්ලෝමාවක් (DIC) ද, යුනිවර්සිටි විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ද හිමි කර ගත්තේය.
එංගලන්තයේ අධ්‍යාපනය ලබන අතරතුර එතුමා සහ මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා අතර ඇති වූ මිත්‍රත්වය රසවත් සිදුවීමකි. එවකට පර්යේෂණ පත්‍රිකා ලිවීමට කඩදාසි හිඟයක් තිබූ අතර, මහාචාර්ය සමරනායක විසින් තමා භාවිත කළ පරිගණක Punch Cards (දත්ත ඇතුළත් කරන කාඩ්පත්) මහාචාර්ය ජේ. බී. දිසානායකට ලිවීමට ලබා දී තිබුණි. “අපි දෙන්නා එක් කළේ පරිගණකයයි” යනුවෙන් ජේ. බී. දිසානායක මහතා පසුව සිහිපත් කර තිබුණේ ඒ අතීතයයි.
සරසවි වරම් සහ ශාස්ත්‍රීය විප්ලවය

1966 දී නැවත මව්බිමට පැමිණි එතුමාගේ විශ්වවිද්‍යාල දිවිය ඉතා වේගවත් ගමනක් විය. 1974 වන විට, එනම් වයස අවුරුදු 35ක් තරම් අඩු වයසකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ධුරයට සහ මහාචාර්ය ධුරයට පත්වීමට එතුමාට හැකි විය. වසර 43ක අඛණ්ඩ සේවයක් ලබා දෙමින් එතුමා 2004 සැප්තැම්බර් 30 වන දින විශ්‍රාම යන විට පරිගණක විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා වූ අතර, පසුව කොළඹ විශ්වවිද්‍යාලය විසින් “සේවාර්ජිත මහාචාර්ය” ධුරයෙන් පිදුම් ලැබීය.
එතුමා හුදෙක් ආචාර්යවරයෙකුට සීමා නොවී, සංඛ්‍යාන සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ (DSCS) නිර්මාතෘවරයා ලෙසත්, විද්‍යා පීඨාධිපති ලෙසත්, ඇතැම් අවස්ථාවලදී වැඩබලන උපකුලපතිවරයා ලෙසත් කටයුතු කරමින් විශ්වවිද්‍යාල ව්‍යුහය සහ විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය.
එතුමා තුළ තිබූ මානව හිතවාදී ගුණය කියාපාන කදිම සිදුවීමක් 1975 වසරේදී වාර්තා වේ. ශිෂ්‍ය ගැටුමක් හේතුවෙන් ශිෂ්‍යභාවය අහෝසි කිරීමට නියමිතව සිටි සිසුවෙකුගේ අභියාචනය විභාග කළ කමිටුවේ සභාපති වූයේ මහාචාර්ය සමරනායකයි. එතුමා එම සිසුවාගේ දක්ෂතා හඳුනාගෙන, ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවන ලෙස දඬුවම “නිවාඩු කාලයේදී ගෙවී යන සති දෙකක පන්ති තහනමකට” ලිහිල් කළේය. අවසානයේ එම සිසුවා බැච් එකේ වැඩිම ලකුණු ලබා ගනිමින් සමත් විය. නීතියේ අකුරට වඩා මනුෂ්‍යත්වයට තැන දුන් එතුමාගේ දූරදර්ශී බව එයින් මනාව පැහැදිලි වේ.
1982 ජනාධිපතිවරණය: තාක්ෂණික වික්‍රමය

මහාචාර්ය සමරනායකයන්ගේ තාක්ෂණික දස්කම් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව විදහා පෑ ප්‍රධානතම අවස්ථාවක් ලෙස 1982 ජනාධිපතිවරණය හැඳින්විය හැක. මැතිවරණ ප්‍රතිඵල පරිගණක ගත කර රූපවාහිනියෙන් විකාශය කිරීමට එතුමාට දැඩි අවශ්‍යතාවයක් තිබුණි. නමුත් ගැටලුව වූයේ එවකට ඔවුන් සතුව තිබුණේ කිලෝබයිට් 32ක (32KB) ධාරිතාවක් සහිත කුඩා BBC Micro පරිගණකයක් පමණක් වීමයි. එහි දත්ත ගබඩා කිරීමට Hard Disk හෝ Floppy Disk ධාවකයක් (Drive) පවා නොතිබූ අතර, විදුලිය විසන්ධි වුවහොත් දත්ත මැකී යාමේ අවදානම තිබුණි.
එහෙත් අධෛර්යමත් නොවූ එතුමා එංගලන්තයේ සිටි ආචාර්ය රොජර් ස්ටර්න් මහතා අමතා Floppy Drive එකක් ඉල්ලා සිටියේය. එවකට එම උපකරණය වෙළඳපොළටවත් නිකුත් වී නොතිබුණත්, ස්ටර්න් මහතා කෙසේ හෝ එය සොයාගෙන මැතිවරණයට සති දෙකකට පෙර ලංකාවට පැමිණියේය.
එවකට මැතිවරණ කොමසාරිස්වරයා “මේක කරන්න ගිහිල්ලා මගේ ප්‍රතිඵල නිකුත් කරගන්න බැරි වෙයි” කියා මීට විරුද්ධ වුවද, “අපි කරලා බලමු” යැයි පවසා මහාචාර්යවරයා වගකීම භාර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියාවේ පළමු වතාවට මැතිවරණ ප්‍රතිඵලයක් පරිගණක ආශ්රයෙන් රූපවාහිනියෙන් විකාශය කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි විය.
UCSC: ජාත්‍යන්තරය ජයගත් දේශීය ව්‍යාපෘතිය

අද පවතින කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) යනු මහාචාර්ය සමරනායකයන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්රතිඵලයකි. මුලින්ම බ්‍රිතාන්‍ය ආධාර යටතේ ලැබුණු කුඩා මයික්‍රොකොම්පියුටර විද්‍යාගාරයක් ලෙස මෙය ආරම්භ විය. පසුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) එක් කර ගනිමින් පරිගණක තාක්ෂණ ආයතනය (ICT) ලෙස මෙය දියුණු කෙරිණි. මෙහිදී 1986 වසරේ JICA ආයතනය සමඟ ඇති වූ සිදුවීම විශේෂිතය.
JICA හි සිව්වන සමීක්ෂණ කණ්ඩායම ලංකාවට පැමිණ, “මෙම ව්‍යාපෘතිය මැලේසියාවට ලබා දීමට තීරණය කළ බවත්, ලංකාවට නොලැබෙන බවත්” ප්‍රකාශ කළ අවස්ථාවේදී, මහාචාර්යතුමා අධෛර්යමත් නොවී, “අපි උත්සාහ කරලා බලමු” යැයි පවසා, දින 4ක් ඇතුළත ඔවුන් ඉල්ලූ සියලුම ලිපි ලේඛන සහ දත්ත සකසා ඉදිරිපත් කළේය. එතුමාගේ ඒ කැපවීම නිසා අවසානයේ එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලැබුණු අතර, අද JICA ආයතනය මෙය දකුණු ආසියාවේ තම “පරමාදර්ශී ව්‍යාපෘතියක්” ලෙස හඳුන්වයි.
පසුව සංඛ්‍යාන හා පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවත් (DSCS), පරිගණක තාක්ෂණ ආයතනයත් (ICT) ඒකාබද්ධ කර 2002 දී UCSC පිහිටුවූ අතර එහි සමාරම්භක අධ්යක්ෂවරයා වූයේද එතුමාය. මියයන තුරුම එතුමා JICA සහාය ලත් UCSC ධාරිතා වර්ධන ව්‍යාපෘතියේ නායකයා ලෙස කටයුතු කළේය.
සිංහල භාෂාව ඩිජිටල් ලෝකයට

පරිගණකය පොදු ජනතාවට සමීප කිරීමට නම් සිංහල භාෂාව ඊට ඇතුළත් කළ යුතු බව මහාචාර්ය සමරනායක තරයේ විශ්වාස කළේය. තායිලන්තයේ තායි භාෂාව පරිගණකයට යොදා ඇති ආකාරය අධ්‍යයනය කිරීමට මහාචාර්ය නන්දසාර මහතාව යොමු කරමින්, IBM සහ වින්ඩෝස් (Windows) පද්ධතිවලට සිංහල භාෂාව ඇතුළත් කිරීමට එතුමා පුරෝගාමී විය.

විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය (ISO) විසින් සිංහල අක්ෂර සඳහා වැරදි ප්‍රමිතියක් සම්මත කිරීමට සැරසෙන විට (අයර්ලන්තය, එංගලන්තය සහ ඇමරිකාවේ යෝජනා මත), වහාම ඊට මැදිහත් වී, නිවැරදි සිංහල යුනිකෝඩ් (ISO 10646) ප්‍රමිතිය සකස් කර ගැනීමට නායකත්වය දුන්නේද එතුමාය. එපමණක් නොව, මයික්‍රොසොෆ්ට් සමාගම සමඟ සෘජුව සාකච්ඡා කර Windows මෙහෙයුම් පද්ධතියට නිල වශයෙන් සිංහල ඇතුළත් කිරීමටද එතුමා මුලිකත්වය ගත්තේය.
ජාතික මෙහෙවර සහ තනතුරු

ජාතික මට්ටමේ නායකත්වයේදී එතුමා දැරූ වගකීම් සම්භාරය අතිවිශාලය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) සභාපති ලෙස 1985 සිට 1997 දක්වා වසර 12ක් කටයුතු කරමින් ජාතික IT ප්‍රතිපත්තිය (IT Policy), නීතිමය යටිතල පහසුකම්, ඊ-වාණිජ්‍යය, පරිගණක ආරක්ෂාව සහ රජයේ කටයුතු සඳහා IT භාවිතය (E-Government) පිළිබඳ පදනම දැමුවේ එතුමාය. මිය යන විට එතුමා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයේ ඉහළම ආයතනය වන ICTA හි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
2000 වසර උදාවීමත් සමඟ ලෝකයේම පරිගණක පද්ධති බිඳ වැටේ යැයි බියක් ඇති කළ ‘Y2K’ අර්බුදයේදී ශ්‍රී ලංකාවේ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස කටයුතු කළ එතුමා, අසල්වැසි රටවල් වලටත් කලින් ශ්‍රී ලංකාව “Y2K Ready” තත්වයට ගෙන ඒමට සමත් විය.
මීට අමතරව 1994 දී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS) ස්වර්ණ ජයන්ති වර්ෂයේ ප්‍රධාන සභාපතිවරයා ලෙසත්, 1999-2000 කාලයේ ජාතික විද්‍යා ඇකඩමියේ (NAS) සභාපතිවරයා ලෙසත්, 1998 සිට ඉන්ෆොටෙල් (Infotel) ලංකා සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමුළුව (IITC) සහ Infotel ප්‍රදර්ශනය මෙරට ප්‍රචලිත කිරීමට නායකත්වය දුන්නේය.

අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් එතුමාගේ දායකත්වය අමතක කළ නොහැක. විශ්වවිද්‍යාලවලට පමණක් සීමා නොවී පාසල් පද්ධතියට පරිගණක හඳුන්වා දීමටත්, ගුරුවරුන් පුහුණු කිරීමටත්, මහජනතාව අතර පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරීමටත් එතුමා ජාතික වැඩසටහන් දියත් කළේය.
ස්වීඩන ආධාර (SIDA) යටතේ ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල අන්තර්-ජාලකරණ ව්‍යාපෘතියේ සහ විද්‍යුත් ඉගෙනුම් ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල කොඳු නාරටිය සැකසීමට දායක වූයේද, .lk ඩොමේන් නාමයේ නිර්මාතෘවරයා වූයේද එතුමාය.
විශ්වවිද්‍යාල වරම් අහිමි සිසුන් වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර තොරතුරු තාක්ෂණ උපාධිය (BIT) හඳුන්වා දුන් අතර, ආරම්භයේදීම සිසුන් 5000ක් ඊට ලියාපදිංචි වීම එතුමාගේ එම සංකල්පයේ සාර්ථකත්වය මැනවින් කියාපායි. තවද කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය හරහා ග්‍රාමීය ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් ලබා දීම සහ සර්වෝදය සමඟ එක්ව බහුකාර්ය ටෙලි-මධ්‍යස්ථාන සංකල්පය ගොඩනැගීම තුළින් පසුකාලීන රජයේ “නැණසල” ව්‍යාපෘතියට අඩිතාලම වැටුණි.
ජාත්‍යන්තර කීර්තිය සහ සම්මාන

එතුමාගේ සේවය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවීය. යුරෝපා කොමිසමේ Asia IT&C වැඩසටහනේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ (2002, 2003) සහ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (2004/2005) ආගන්තුක විද්‍යාර්ථියෙකු ලෙසත් කටයුතු කරමින් එතුමා ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගත්තේය.
ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා සමඟ එක්ව තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතුවලදී එතුමා සහයෝගයෙන් කටයුතු කළේය. එතුමාගේ මෙම අමිල සේවය අගයමින් 1996 දී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපතිගේ සම්මානයෙන්ද, 1997 දී ශ්‍රී ලංකා රජයේ “විශ්ව ප්‍රසාදිනී” සම්මානයෙන්ද පිදුම් ලැබීය.

1998 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අතින් විද්‍යා ක්ෂේත්රයේ ඉහළම සම්මානය වන “විද්‍යා ජෝති” සම්මානය ලබා ගත් එතුමාට, 2005 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලය විසින් විද්‍යා ආචාර්ය (D.Sc Honoris Causa) සම්මාන උපාධිය පිරිනමන ලදී.
නිහතමානී සමුගැනීම
මහාචාර්ය සමරනායක මහතාගේ පෞද්ගලික ජීවිතය ද එතුමාගේ වෘත්තීය ජීවිතය මෙන්ම සාර්ථක විය. එතුමාගේ ආදරණීය බිරිඳ වූ ශ්‍රියා සමරනායක (විවාහයට පෙර අබේරත්න) මහත්මියද එතුමාට සමාන්තරව රාජ්‍ය සේවයේ නියුතු වූවාය.
ඔවුනට සමිත සහ නයන නමින් පුතුන් දෙදෙනෙක් සිටින අතර, පියාගේ අඩිපාරේ යමින් ඔවුන් දෙදෙනාම විදේශීය කීර්තිමත් අධ්‍යාපන ආයතනවලින් උපාධි ලබා, වර්තමානයේ ලොව ප්රමුඛ පෙළේ ගෝලීය ICT සමාගම්වල ඉහළ තනතුරු හොබවමින් සිටිති.
දශක හතරකට අධික කාලයක් රටට සේවය කළ මෙම යුග පුරුෂයා, 2007 ජූනි මස 6 වන දින, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ස්වීඩන රජයේ ICT සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමාගේ වයස අවුරුදු 68කි. එතුමාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු, කොළඹ විශ්වවිද්‍යාලයේ එතුමා නමින් නම් කරන ලද “වී. කේ. සමරනායක ශ්‍රවණාගාරයේ” තැන්පත් කර තිබී, ජූනි 13 වන දින බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කරන ලදී.
“කොම්පියුටරේ ලංකාවට හුරු කළ නිහතමානී මහාචාර්යවරයා” ලෙස ඉතිහාස ගත වූ විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක මැතිතුමා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් නොමැකෙන සටහනක් තැබූ අසහාය ප්රාඥයෙකි.
උපුටා ගැනීම: tech news
