ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.
පෙර අත් නොවිඳි වේගවත් බවකින් සමන්විත SLT-MOBITEL 5G සේවාව, ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපනික, වෘත්තීය ඇතුළු සියලු අවශ්‍යතා සඳහා පරිවර්තනීය සහයෝගයක් ලබා දෙන අතර, මෙම තාක්ෂණය රටේ අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, නිෂ්පාදන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ආශ්‍රිතව විප්ලවීය වෙනසක් සිදු කරමින්, නවෝත්පාදන සක්‍රීය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. මීට අමතරව ඩිජිටල් සේවා වේගවත් කිරීම සහ ව්‍යාපාර බල ගැන්වීම වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන SLT-MOBITEL 5G සේවාව අනාගතයට සරිලන, දැනුම මත පදනම් වූ ආර්ථිකයක් සඳහා අඩිතාලම දමනු ඇති අතර, මෙම සේවාව ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ක්ෂේත්‍රය තුළ තරගකාරී ලෙස ස්ථාන ගත කිරීමට ද ශක්තිය ලබා දෙයි.
SLT-MOBITEL 5G සේවාව ජන ගත කිරීමේ කොටසක් ලෙස, One Galle Face Mall (OGF) හි දී 5G සේවාව හඳුන්වා දීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, එහි දී ජනතාවට 5G සේවාවේ විශේෂත්වය අත්විඳිමින් AR සහ VR යෙදුම්, ඩිජිටල් ක්‍රීඩා සහ සජීවී වේග නිරූපණයන් (Live speed demonstrations) ගවේෂණය කිරීමට අවස්ථාව ලබා දීම විශේෂත්වයකි. මෙම සුවිශේෂී අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, SLT-MOBITEL අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ, SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ඉමන්ත විජේකෝන්, MOBITEL සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු SLT-MOBITEL ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සුදර්ශන ගීගනගේ මහතා මෙසේ පැවසුවේ ය. “5G යනු විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන තීරණාත්මක සේවාවක් විදියට හඳුන්වා දීමට පුළුවන්. සෑම පුරවැසියෙකුටම තිරසාර හා අර්ථවත් සබඳතා අත්දැකීමක් ලබා දෙමින්, ආර්ථික වර්ධනයේ නව යුගයකට ශ්‍රී ලංකාව ගෙන යාමේ හැකියාව මෙම සේවාවට ඇති බව පැවසිය යුතුමයි. නවීන තාක්ෂණයෙන් සපිරි අනාගතයක් කරා ශ්‍රී ලාංකේය ජාතිය ගෙන යාමට ව්‍යාපාර, ආයතන සහ ජනතාව බල ගැන්වීම වෙනුවෙන් SLT-MOBITEL සමාගමේ කැප වීම, 5G සේවාව හඳුන්වා දීම හරහා පිළිබිඹු වෙනවා.”
5G සේවාව හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකාව පුරා ජනතාවට උසස් ඩිජිටල් මෙවලම් හඳුන්වා දීමට, වැඩිදියුණු කළ සබඳතා ආශ්‍රිත ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීමට සහ අති නවීන තාක්ෂණික සේවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව සෑම පුරවැසියෙකුටම සමානව ලබා දීමට SLT-MOBITEL කැප වන අතර, දියුණු ජංගම හා ස්ථාවර දුරකථන ජාල තාක්ෂණය සඳහා අවශ්‍ය ජාල පදනම ශක්තිමත් කිරීම සඳහා 5G සේවා ශක්තිමත් කිරීමට SLT-MOBITEL වසර ගණනාවක් තිස්සේ අඩිතාලම දමමින් සිටී.
මීට අමතරව, නවීන යටිතල පහසුකම්, ඉහළ ධාරිතාවකින් යුත් සැපයුම් මාර්ග සහ පුළුල් කරන ලද රැහැන් රහිත ආවරණය ජාලය සඳහා සැලකිය යුතු ලෙස ආයෝජනය කරමින්, ශ්‍රී ලංකාව තුළ 5G සේවා ලබා දීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට SLT-MOBITEL පියවර ගෙන ඇත. මෙම වැඩසටහන් සියල්ලක්ම රටේ ඩිජිටල් පරිවර්තනය ආශ්‍රිත අභිලාෂයන් සඵල කර ගැනීමට සහාය වන අතර, කර්මාන්ත ක්ෂේත්‍ර, ව්‍යාපාර සහ පරිශීලකයින් සඳහා නව හැකියාවන් හා අවස්ථා විවෘත කරන බව ද පැවසිය යුතු ම ය. සමස්ත ශ්‍රී ලංකාව ම ආවරණය කරමින් 5G සේවාව ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂී සංධිස්ථානයක් අද සනිටුහන් කරන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන්ට මීළඟ පරම්පරාවට සරිලන තාක්ෂණය සෘජුවම අත්විඳීමට අවස්ථාව ලබා දෙමින්, SLT-MOBITEL 5G සේවාවේ අඛණ්ඩ ව්‍යාප්තිය හරහා ශක්තිමත් අඩිතාලමක් දමා ඇත. මෙම ඓතිහාසික ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා මඟ පෙන්වීම සහ සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRCSL) SLT-MOBITEL සිය කෘතඥතාව පළ කරයි.
5G සේවාව වෙත පොදු ජනතාවට ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රශස්ත කරමින්, ශ්‍රී ලංකාව සබඳතා සහ ඩිජිටල් වර්ධනයේ මීළඟ යුගයට ගෙන යාමේ මෙහෙවරෙහි නිරතව සිටින SLT-MOBITEL, විශ්වසනීයත්වය, නවෝත්පාදනය සහ රට පුරා සේවා සැපයීමේ හැකියාව සනාථ කරමින් 5G සේවාවේ ප්‍රතිලාභ සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දෙන බව අවධාරණය කරයි.
උපුටා ගැනීම : අද දෙරණ
