වසර 150ක ලංකා තේ ඉතිහාසය වෙනස් කරමින් SpectrifyAI හඳුන්වා දුන් නව තාක්ෂණයට තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල අනුමැතිය හිමි වෙයි

Mic
By Mic

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි තාක්ෂණික සමාගමක් වන SpectrifyAI විසින් තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය මැනීම සඳහා විප්ලවීය AI තාක්ෂණික වේදිකාවක් හඳුන්වා දෙනු ලැබීය. එය පසුගිය ජනවාරි මාසයේදී නිල වශයෙන් අනුමත වී ඇත. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල සහතිකය හිමි වූ මෙම නව නිපැයුම, වසර 150කට අධික ලංකා තේ ඉතිහාසය තුළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ දැවැන්ත පෙරළියක් ලෙස සැලකිය හැකිය.

සාම්ප්‍රදායික ISO ප්‍රමිතීන්ට අනුව තේවල තෙතමනය පරීක්ෂා කිරීම සඳහා අවන් එකක් (Oven) භාවිතයෙන් පැය 6ක පමණ කාලයක් ගතවන වෙහෙසකර ක්‍රියාවලියක නිරත වීමට සිදු වේ. එහෙත් SpectrifyAI විසින් හඳුන්වා දී ඇති නවීන තාක්ෂණය මඟින් තත්පර 15කට අඩු කාලයක දී 95%කට වඩා වැඩි නිවැරදිතාවයකින් එම ප්‍රතිඵල ලබා ගැනීමට මේ වන විට හැකියාව පවතී. මෙමඟින් තේ වල තෙතමනයට අමතරව, එහි ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන මුළු පොලිෆෙනෝල් (Total Polyphenols – TPP) මට්ටම සහ සමස්ත පත්‍රයේ ගුණාත්මකභාවය ද මැනිය හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම, වසර තුනක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මෙම තාක්ෂණය මඟින් තේ දල්ලේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා වූ ගමන් මඟෙහි විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය සහතික කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳව SpectrifyAI හි ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් මහතා මෙසේ අදහස් දැක්වීය. “තේ පර්යේෂණ ආයතනය සමඟ වසර ගණනාවක් පුරා සිදුකළ සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස අපගේ තාක්ෂණයට අනුමැතිය හිමිවුණා. මෙමඟින් තේ නිෂ්පාදකයින්, කර්මාන්තශාලා හිමියන්, තැරැව්කරුවන් සහ අපනයනකරුවන් යන සැමට අඩු කාලයක් තුළදී විශ්වාසදායක දත්ත ලබා ගැනීමට හැකි වෙනවා. මේ හරහා අපගේ ඉලක්කය වන්නේ සාම්ප්‍රදායික සැපයුම් ක්‍රියාවලීන්වලට ඉහළ වටිනාකමක් එකතු කිරීමයි.”

කෙන්යාව වැනි රටවල් විශාල ප්‍රමාණයකින් තේ නිෂ්පාදනය කළ ද, ලාංකේය තේවල පවතින සුවිශේෂී ගුණාත්මකභාවය හේතුවෙන් ලෝකයේ ඉහළ ඉල්ලුමක් ලාංකේය තේ සඳහා පවතී. SpectrifyAI හි මෙම නවෝත්පාදනය හරහා ලාංකේය තේවල ප්‍රමිතිය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කරමින්, ඉහළ මිලක් සහ තරඟකාරීත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එම්. ඒ. බී. රණතුංග මහතා පවසන්නේ, “කළු තේ වල තෙතමනය ඉතා වේගයෙන් හා නිවැරදිව මැනීම සඳහා මෙම පහසුවෙන් අතේ ගෙන යා හැකි NIR උපාංග සතු හැකියාව අපගේ පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා.” යනුවෙනි.

තේ කර්මාන්තයෙන් ආරම්භ කළ ද, SpectrifyAI සිය තාක්ෂණය කෝපි ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ද ව්‍යාප්ත කිරීමට මේ වන විටත් පර්යේෂණ මෙහෙයවමින් සිටියි. මෙය ශ්‍රී ලංකාව කලාපීය කෘෂි තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට දිරිගැන්වීමක් වනු ඇත.

Share This Article