මුහුදු පතුලෙන් හමුවුණු අවුරුදු 2,000ක් පරණ ලෝකයේ පළමු යාන්ත්‍රික පරිගණකය

Mic
By Mic

ලෝකයේ පළමු පරිගණකය කිව්වම අපිට මතක් වෙන්නේ 1940 ගණන්වල හදපු කාමරයක් තරම් ලොකු ‘ENIAC’ කියන විද්‍යුත් පරිගණකයයි. හැබැයි ඊටත් අවුරුදු 2,000කට කලින් පරිගණකයක තාක්ෂණය ලෝකයේ තිබුණා කිව්වොත් ඔබ අනිවාර්යයෙන්ම පුදුම වෙයි.

1901 අවුරුද්දේ ග්‍රීසියේ “ඇන්ටිකයිතෙරා” (Antikythera) කියන දූපත ආසන්නයේ මුහුදු පතුලෙන් හොයාගත්තු මේ ලෝකඩ උපකරණය තමයි ලෝකයේ පළමු “ඇනලොග්” (යාන්ත්‍රික) පරිගණකය විදිහට හැඳින්වෙන්නේ. මේක විදුලියෙන් වැඩ කරපු දෙයක් නෙවෙයි. මේකේ ලී පෙට්ටියක් ඇතුළේ එකිනෙකට සම්බන්ධ වුණු ලෝකඩ දැති රෝද (gears) 37කින් විතර මේ අපූරු යන්ත්‍රය හැදිලා තිබුණා.

අතින් කරකවන පුංචි මිටකින් ක්‍රියාත්මක වුණු මේ යන්ත්‍රයට, හරියට අද තියෙන පරිගණකයක් වගේ දත්ත ගණනය කරන්න පුළුවන්කම තිබුණා. ඉර සහ හඳ ගමන් කරන විදිහ, සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ සිදුවන කාලයන් එයින් හරියටම ගණනය කළා. ඒ වගේම ඔලිම්පික් වගේ අවුරුදු හතරකට සැරයක් තියෙන ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාලය පවා මේකෙන් හොයාගන්න අතීත මිනිසුන්ට පුළුවන් වුණා.

මෑතකදී කරපු X-ray පරීක්ෂණවලින් තමයි මේකේ තියෙන පුදුමසහගත තාක්ෂණය ලෝකයටම හෙළි වුණේ. මධ්‍යතන යුගයේ ඔරලෝසු නිර්මාණය වෙනකම්ම මේ වගේ සංකීර්ණ යාන්ත්‍රික තාක්ෂණයක් ලෝකයේ වෙන කොහේවත් දකින්න ලැබුණේ නැහැ. අතීත මිනිසුන්ගේ ගණිතමය සහ යාන්ත්‍රික දැනුම අපි හිතනවාට වඩා කොයිතරම් දියුණුද කියන්න මේ අතිවිශිෂ්ට නිර්මාණය කදිම උදාහරණයක්.

උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්

Share This Article