කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ගීත සිය නිල සංගීත දර්ශකයන්ගෙන් (Music charts) තහනම් කළ ලොව පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත්ව තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංගීත කර්මාන්තයේ ප්‍රධාන ආයතනය වන ARIA විසින් සිය නීතිරීති යාවත්කාලීන කරමින් පසුගිය අගෝස්තු 31 වනදා සිට මෙම නව නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා.
නව නීතිරීතිවලට අනුව, AI තාක්ෂණය යොදාගනිමින් ප්‍රධාන ගායනය (Lead vocals) හෝ ප්‍රධාන වාදන භාණ්ඩ නිර්මාණය කර ඇති ගීත ARIA දර්ශකයන්ට මෙන්ම වාර්ෂික ARIA සම්මාන උළෙල සඳහා ද නුසුදුසු වනවා. කෙසේ වෙතත් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ගීත සඳහා සහායක තාක්ෂණයක් ලෙස AI භාවිතා කිරීම තවදුරටත් ගැටලුවක් නොවන අතර, ගීතයක ප්‍රධාන අංග අනිවාර්යයෙන්ම මිනිස් කලාකරුවෙකු විසින්ම සිදු කර තිබිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මිනිස් කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ඓතිහාසික තීරණය ගෙන තිබෙනවා. මීට ආසන්නතම හේතුව වී ඇත්තේ ද Queensland හි DJ ශිල්පියෙකු වන Josh Fawaz විසින් AI තාක්ෂණයෙන් නිර්මාණය කළ Madonna ගේ ‘Like a Prayer’ ගීතයේ නවතම සංස්කරණය Spotify හරහා වාර මිලියන 48 කට වඩා ශ්‍රවණය කරමින් එරට සංගීත දර්ශකවල ඉහළම ස්ථානවලට පත්වීමයි.
The Sri COM
