ලොව ප්රමුඛතම ඡායාරූප සහ දෘශ්ය මාධ්ය සමාගමක් වන Getty Images බංකොලොත්භාවය ප්රකාශයට පත් කරයි.
ලොව ප්රමුඛතම ඡායාරූප සහ දෘශ්ය මාධ්ය සමාගමක් වන Getty Images Holdings Inc. විසින් Chapter 11 යටතේ බංකොලොත්භාවය ප්රකාශයට පත් කිරීමටත්, අමෙරිකානු ඩොලර් මිලියන 533 ක ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුමක් යටතේ යළිත් පෞද්ගලික සමාගමක් බවට පත්වීමටත් තීරණය කර තිබෙනවා. Getty පවුල සහ Koch Equity Development ආයතනය එක්ව සිදු කරන මෙම ආයෝජනය හරහා සමාගමේ 100% ක අයිතිය ඔවුන් යටතට පත්වන අතර, මෙම ක්රියාවලිය සඳහා Koch Equity Development මගින් අමතර ඩොලර් මිලියන 143 ක මූල්ය පහසුකමක් ද ලබා දීමට නියමිතයි.
පසුගිය ජූනි 30 වැනිදා වන විට ඩොලර් බිලියන 2.1 ක පමණ දැවැන්ත ණය බරකට මුහුණ දී සිටි Getty Images සමාගම, 2022 වසරේදී SPAC ක්රමවේදය හරහා කොටස් වෙළෙඳපොළට පිවිසීමෙන් පසු එහි කොටස් වටිනාකම 99% කට වඩා වැඩි ප්රමාණයකින් පහත වැටී තිබුණා. මේ හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මස අගදී New York Stock Exchange මගින්ද එම සමාගම ඉවත් කිරීමේ ක්රියාවලිය ආරම්භ කළා. මීට අමතරව ප්රතිවාදී Shutterstock සමාගම සමඟ සිදු කිරීමට ගිය ඩොලර් බිලියන 3.7 ක ඒකාබද්ධ වීමේ ගිවිසුම ද බ්රිතාන්යයේ Competition and Markets Authority ආයතනය පැනවූ කොන්දේසි හේතුවෙන් මීට පෙර බිඳ වැටී තිබුණා.
මෙම නව ප්රතිව්යුහගත කිරීමේ සැලැස්ම සඳහා සමාගමේ ණයහිමියන්ගේ ද ඉහළ අනුමැතියක් හිමිව ඇති අතර, ඒ යටතේ ඩොලර් මිලියන 270 ක පමණ ණය කපා හැරීමටත්, පොලී පිරිවැය අඩු කර ණය ගෙවීමේ කාලසීමාවන් දීර්ඝ කිරීමටත් එකඟතාව පළ වී තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ ආරම්භ වන මෙම ක්රියාවලිය 2026 වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම තීරණය හරහා සමාගමේ එදිනෙදා මෙහෙයුම් කටයුතුවලට කිසිදු බාධාවක් සිදු නොවන බවත්, සේවකයින් කප්පාදු කිරීමක් සිදු නොවන බවත් Getty Images සමාගම අවධාරණය කරනවා. සැපයුම්කරුවන්ට, පාරිභෝගිකයින්ට සහ නිර්මාණ දායකයින්ට මෙමගින් කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන අතර, සමාගමේ ප්රධාන විධායක නිලධාරී Craig Peters සහ Koch Equity Development හි ජ්යෙෂ්ඨ කළමනාකාර අධ්යක්ෂ Mike Harris පෙන්වා දෙන්නේ මෙම පියවර හරහා කොටස් වෙළෙඳපොළ පීඩනයෙන් මිදී ශක්තිමත් මූල්ය පදනමක් සහ අනාගත වර්ධනයක් කරා යාමට සමාගමට අවස්ථාව සැලසෙන බවයි.
The Sri COM
