සාමාන්‍යයෙන් අපේ දුරකථනයකට Cyber ප්‍රහාරයක් එල්ල වෙන්න නම් අපි නොදන්නා Link එකක් Click කරන්න හෝ අනාරක්ෂිත App එකක් Install කරන්න ඕනේ කියලයි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ. හැබැයි ඔබ කිසිම දෙයක් Touch නොකර, අඩුම තරමේ Phone එකට SMS එකක් ආවා කියලාවත් පෙන්වන්නේ නැතිව ඔබේ Android දුරකථනය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළ හැකි භයානක Vulnerability පිළිබඳව මේ දිනවල ලොව පුරා දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ආරක්ෂක පර්යේෂකයන් විසින් ‘SMS of Death’ ලෙස හඳුන්වන CVE-2026-58882 දෝෂය මේ වන විට ලෝකය පුරාම දැඩි කතාබහක් නිර්මාණය කරල තියෙනවා.
මොකක්ද මේ ‘SMS of Death’ කියන්නේ?
ආරක්ෂක පර්යේෂක Mark Blaszczyk විසින් 2026 මැයි මාසයේදී මුලින්ම සොයාගෙන Google ආයතනය වෙත වාර්තා කරන ලද මෙම දෝෂය පසුගිය ඔක්තෝබර් 29 වනදා ප්‍රසිද්ධියට පත් කෙරුණා. Google විසින් Critical ලෙස වර්ගීකරණය කර ඇති මෙය Zero-Click Vulnerability එකක් වන අතර, ප්‍රහාරකයෙකුට අවශ්‍ය වන්නේ ඉලක්කගත පුද්ගලයාගේ දුරකථන අංකය පමණයි.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ මෙම විශේෂිත SMS පණිවිඩය ඔබේ දුරකථනයට ලැබුණු විට කිසිදු Notification එකක් නොලැබීමත්, SMS Inbox එකේ එය සටහන් නොවීමත් නිසා එවූ පුද්ගලයාගේ දුරකථන අංකයවත් දැකගැනීමට නොහැකි වීමයි.
තාක්ෂණිකව මෙම ප්‍රහාරය සිදුවන්නේ කෙසේද?
අපේ දුරකථනයට සාමාන්‍ය SMS එකක් පැමිණි විට එය අප භාවිත කරන Messaging App එකට යොමු වීමට පෙර, Android මෙහෙයුම් පද්ධතියේ ඇති Telephony Framework එක මගින් පරීක්ෂාවට ලක් කෙරෙනවා. එහිදී Data SMS වර්ගයක් වන WAP Push පණිවිඩ හසුරුවනු ලබන්නේ පද්ධතියේ ඇති WapPushOverSms නමැති කොටස මගිනුයි.
Fatal Error එකක් ඇතිවීම: විශේෂයෙන් සකස් කරන ලද (Malformed) WAP Push පණිවිඩයක් ලැබුණු විට, එහි Header Length එක ගණනය කිරීමේදී එම අගය සෘණ අගයක් (-2,147,483,648) බවට පත් වේ.
Call Service එක බිඳ වැටීම: මෙම අසාමාන්‍ය සෘණ අගය දරාගත නොහැකිව දුරකථන ඇමතුම් පාලනය කරන ප්‍රධාන පද්ධතිය (com.android.phone) ක්ෂණිකව Crash වීම සිදුවේ.
මෙමගින් ඔබේ දුරකථනයට සිදුවන බලපෑම කුමක්ද?
පර්යේෂකයන් විසින් Google Pixel 9 සහ Samsung Galaxy A-series ඇතුළු දුරකථන කිහිපයකම මෙම පරීක්ෂණය සිදු කර ඇති අතර, එහිදී 100% සාර්ථකත්වයකින් දුරකථන බිඳ වැටීමට ලක්ව තිබෙනවා. මෙහිදී ප්‍රධාන ගැටලු තුනක් ඇති විය හැකියි.
1. Active Calls ක්ෂණිකව විසන්ධි වීම
ඔබ දුරකථන ඇමතුමක සිටින විට (හදිසි ඇමතුමක පවා) මෙම SMS එක ලැබුණහොත් තත්පර කිහිපයකට Signal සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇමතුම විසන්ධි වේ.
2. සතියක් පුරා පවතින බාධාවන්
පණිවිඩය ලැබුණු බවට දුරකථනයෙන් Mobile Network එකට තහවුරු කිරීමක් නොයන නිසා Network එක මගින් එම SMS එකම නැවත නැවතත් එවන අතර, එක SMS එකකින් පවා සතියක් පමණ වරින් වර ඇමතුම් විසන්ධි විය හැකියි
3. SMS 20කින් Phone එක Bootloop වීම
මෙවැනි SMS පණිවිඩ 20ක් පමණ එවුවහොත් ඒවා දුරකථනයේ Queued පවතින නිසා, Phone එක Restart කරන සෑම විටම නැවත Crash වෙමින් දිගින් දිගටම Restart වන තත්ත්වයට (Reboot Loop) පත් වේ
එවැනි Bootloop තත්ත්වයකට පත් වූ දුරකථනයක් Factory Reset නොකර යථා තත්ත්වයට පත් කිරීමට නම්, පරිගණකයක් හරහා ADB (Android Debug Bridge) භාවිත කරමින් දුරකථනය on වන ඉතා කෙටි කාලය ඇතුළත අදාළ දත්ත මකා දැමීමට සිදුවන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
අවදානමට ලක්ව ඇති දුරකථන මොනවාද?
මෙම දෝෂය Android 12 සිට Android 16 සහ 17 දක්වා ක්‍රියාත්මක වන දුරකථනවලට බලපානු ලබනවා. Google ආයතනය විසින් 2026 ජූනි 15 වනදා මීට අදාළ විසඳුම Android Open-Source Project (AOSP) වෙත එක් කර ඇති අතර, Android 14 සිට 17 දක්වා වන දුරකථන සඳහා නිකුත් කළ October 2026 Security Update එක මගින් මෙම දෝෂය නිවැරදි කර තිබෙනවා. එම Update එක මගින් දෝෂ සහිත WAP Push පණිවිඩයක් පැමිණි විට System එක Crash නොවී එම SMS දත්ත ස්වයංක්‍රීයව මකා දැමීමට සලස්වා ඇත.
කෙසේ වෙතත්, Software Updates ලබා දීම නතර කර ඇති පැරණි Android 12 සහ 13 දුරකථනවලට මෙම ආරක්ෂක යාවත්කාලීන කිරීම නොලැබී යාමේ අවදානමක් පවතිනවා.
ඔබේ Android දුරකථනය ආරක්ෂා කරගන්නේ කෙසේද?
විවිධ දුරකථන නිෂ්පාදකයන් (Samsung, Xiaomi, Pixel, Oppo ආදිය) Security Updates ලබා දෙන කාලසීමාවන් වෙනස් වන බැවින්, ඔබේ දුරකථනයට දැනටමත් අලුත්ම Update එක ලැබී ඇත්දැයි පරීක්ෂා කර වහාම දුරකථනය Update කරන්න.
Lakshan Weerasingha
