ඔයාලා මාක් සකර්බර්ග් මහත්තයව ෆලෝ කරලා තියෙනව නම් ගිය දවස් ටිකෙ මාක් අමුතු පෝස්ට් ටිකක් දැම්මා දකින්න ඇති..

Mic
By Mic

විශේෂයෙන්ම කොමඩු ගැන එහෙම.. live එකකදි පවා කොමඩු කකා හිටියා.. පහුගිය ඔක්තෝබර් 12 වෙනිදා මාක් එයාගේ X සහ Facebook ගිණුම්වල Safeway බෑග් එකක් ළඟ තියෙන කොමඩු ගෙඩියක ෆොටෝ එකක් දාලා තිබ්බා “Muse ordered me 🍉 how thoughtful!” කියන caption එකත් එක්ක..
සාමාන්‍ය අයට නම් මේක මාක්ගේ එදිනෙදා ජීවිතයේ තවත් එක සාමාන්‍ය පෝස්ට් එකක් වගේ පෙනුණත්, Meta සමාගමේ AI වැඩකටයුතු ගැන අවධානයෙන් හිටපු අයට නම් මේක “Watermelon” කියන codename එක ඔවුන් නිර්මාණය කරමින් හිටපු අලුත්ම AI මොඩල් එක ගැන දුන්න අවසන් ඉඟිය බව තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ..
ඇත්තටම මේ පෝස්ට් එක පිටිපස්සේ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා.. පළවෙනි එක තමයි පහුගිය සැප්තැම්බර් මුලදී හඳුන්වා දුන්න Meta සමාගමේ පුද්ගලික AI agent වෙන “Muse” සතු සැබෑ ලෝකයේ Agent හැකියාවන් ලෝකයට පෙන්වීම.. තමන් වෙනුවෙන් Muse විසින්ම ස්වාධීනව මේ කොමඩු ගෙඩිය ඕඩර් කළා කියලා පෙන්වමින්, භාණ්ඩ මිලදී ගැනීම සහ ගෙන්වා ගැනීම වගේ multi-step tasks තනිවම හැසිරවීමට දැන් Museට පුළුවන් බව මාක් මේ හරහා ප්‍රායෝගිකවම පෙන්නුවා..
දෙවෙනි සහ AI ලෝකයට වැදගත්ම කාරණය වුණේ මේ සඳහා කොමඩු ගෙඩියක්ම තෝරා ගැනීමයි.. පහුගිය ජූලි මාසයේ ඉඳන්ම වාර්තා වෙලා තිබුණු විදිහට Meta Superintelligence Labs විසින් නිර්මාණය කරන මීළඟ ප්‍රබලතම frontier මොඩල් එකේ අභ්‍යන්තර codename එක වුණේ “Watermelon” යන්නයි.. මීට පෙර ඔවුන් නිකුත් කළ Muse Spark (codename එක – Avocado) මොඩල් එකට වඩා දස ගුණයක පමණ දැවැන්ත compute බලයක් යොදාගෙන පුහුණු කළ මෙම නව මොඩල් එක, OpenAI සමාගමේ GPT-5.5 මොඩලයේ හැකියාවන්ට සම මට්ටමකට පැමිණ ඇති බව Meta හි ප්‍රධාන AI නිලධාරී Alexandr Wang විසින් සේවකයින්ට පැවසූ තොරතුරු මීට පෙර ලීක් වෙලා තිබුණා.. “Model” කියන වචනයවත් පාවිච්චි නොකර කොමඩු ඉමෝජි එකක් විතරක් දාලා අන්තර්ජාලයටම මේ කතාව ගළපගන්න මාක් ඉඩ හැරියා..
අගෝස්තු මාසයේදී පුහුණු කටයුතුවල යම් ප්‍රමාදයන් වාර්තා වීමත්, සැප්තැම්බර් වන විට අලුත් මොඩල් එකක් ළඟදීම එන බවට මාක් ප්‍රසිද්ධියේම ඉඟි පළ කිරීමත් එක්ක මේ කුතුහලය තවත් වැඩි වුණා.. ඔක්තෝබර් 12 වෙනිදා මාක්ගේ පෝස්ට් එකත් එක්කම Alexandr Wang විසින් “vibes kinda good 🍉” යනුවෙන් තැබූ සටහන නිසා මෙම නිකුතුව ඉතා ආසන්න බව කාටත් පැහැදිලි වුණා.. ඒ අනුව එදිනම පස්වරුවේ Meta සමාගම විසින් නිල වශයෙන්ම “Watermelon” ලෙස හැඳින්වූ Muse Wonder සහ එහි විශාලතම මොඩලය වන Muse Wonder Full ලොවට හඳුන්වා දුන්නා..
මුලින්ම Meta Model API සහ Muse Code හරහා නිකුත් වුණු මෙම නව මොඩලයන් ඉදිරියේදී සාමාන්‍ය පරිශීලකයින්ගේ Muse ඇප් එකටත් එක් කිරීමට නියමිතයි.. දිගුකාලීනව පරිශීලක තොරතුරු මතක තබා ගැනීම, අඛණ්ඩව පියවර කිහිපයක කාර්යයන් ඉටු කරන Agentic වැඩකටයුතු මෙන්ම නීතිමය, මූල්‍ය සහ coding වැනි වෘත්තීයමය ක්ෂේත්‍ර සඳහා මෙම මොඩලයන් විශේෂයෙන්ම බලගන්වා තිබෙනවා.. සාම්ප්‍රදායික නිවේදනයක් හෝ දැවැන්ත උත්සවයක් වෙනුවට, ඉතා සරල පෞද්ගලික පෝස්ට් එකක් හරහා මුළු අන්තර්ජාලයේම අවධානය, memes සහ කතාබහ තමන් වෙතට හරවාගෙන නිෂ්පාදනයක් එළිදැක්වීමට මාක් සකර්බර්ග් යොදාගත්ත මේ උපක්‍රමය ඇත්තටම හරිම සාර්ථකයි..

Dinith Maleesha

Share This Article