GPT-6 Astra AI

Mic
By Mic

පළමු ලෝක යුද්ධ සමයේදී ජර්මානු හමුදාව විසින් සම්ප්‍රේෂණය කරන ලද, වසර 108ක් මුළුල්ලේ කිසිවෙකුටත් විසඳාගත නොහැකි වූ අතිශය සංකීර්ණ රහස්‍ය ගුවන්විදුලි කේතයක් සාර්ථකව විකේතනය කිරීමට OpenAI සමාගමේ නවතම GPT-6 Astra AI මොඩල් එක සමත්ව තිබෙනවා..

“Prinz” නමැති AI ඩිවලපර් විසින් ජර්මානු විද්‍යා බ්ලොග් අඩවියක් වන Scienceblogs [.] de හි පළව තිබූ මෙතෙක් විසඳා නොමැති ප්‍රසිද්ධ රහස් කේත 50 ලැයිස්තුවකින් මෙම පණිවිඩය තෝරාගෙන AI සහායෙන් විශ්ලේෂණය කර ඇති බවයි වාර්තා වන්නේ..

එකල ජර්මානු හමුදාව විසින් වචනයෙන් වචනයට මාරුවන අකුරු ජාලයක් උපයෝගී කරගනිමින් ඉතා සංකීර්ණ ආකාරයෙන් සකස් කර තිබූ මෙම පණිවිඩය, ජර්මානු උත්තරීතර අණදෙන මූලස්ථානය හෝ නාවික හමුදා ප්‍රධානියෙකු වෙත යොමු කරන ලද්දක්..

GPT-6 Astra විසින් “TRUPPENVERSCHIEBUNG” (හමුදා බලඇණි ස්ථානගත කිරීම) යන Keyword උපයෝගී කරගනිමින් මෙම කේතය සාර්ථකව ලිහාගෙන ඇති අතර, එහි අඩංගු වී තිබුණේ Sevastopol වෙත ඉංග්‍රීසි යුද නෞකාවක් පැමිණි බවත්, තවත් මිත්‍ර හමුදා කණ්ඩායමක් ළඟදීම පැමිණෙන බවත් දන්වමින් යවන ලද හදිසි අනතුරු ඇඟවීමේ පණිවිඩයක්..

විකේතනය කළ පණිවිඩයේ නිරවද්‍යතාවය තහවුරු කරගැනීම සඳහා AI පද්ධතිය විසින් ඓතිහාසික හමුදා ලේඛන පරීක්ෂා කර ඇති අතර, 1918 නොවැම්බර් 24 වන දින බ්‍රිතාන්‍යයේ “HMS Canterbury” නෞකාව යුක්‍රේනයේ ක්‍රිමියාවේ Sevastopol වරායට පැමිණි ඓතිහාසික සත්‍ය සිදුවීම සමඟ එය නිරවද්‍යව ගැලපෙන බව තහවුරු වී තිබෙනවා..

මීට පෙර සංකීර්ණ ක්‍රීඩා ස්වයංක්‍රීයව ක්‍රීඩා කිරීම සහ Simulations ගොඩනැගීම වැනි විස්මිත හැකියාවන් ප්‍රකට කළ GPT-6 Astra, ඉතිහාසයේ නොවිසඳුණු අබිරහස් සහ සංකීර්ණ Cryptography ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහාද කෙතරම් ප්‍රබල මෙවලමක්ද යන්න මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වනවා..

Dinith Maleesha

Share This Article