හැමෝම දිනපතා GPS තාක්ෂණය පාවිච්චි කරනවා ඇති.. හැබැයි මේ මුළු පද්ධතියම නඩත්තු කරන්න සල්ලි ගෙවන්නේ ඇමරිකානු බදු ගෙවන ජනතාව කියලා ඔයා දන්නවද..
1973 දී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු GPS හි පළමු මූලාකෘති චන්ද්‍රිකාව 1978 දී අභ්‍යවකාශගත කෙරුණා. චන්ද්‍රිකා 24කින් යුත් සම්පූර්ණ ජාලය 1993 දී වැඩ අවසන් කරන විට එය සම්පූර්ණයෙන්ම මිලිටරි කටයුතු සඳහා පමණක් වෙන්වුණා..
නමුත් 1983 දී සිදු වූ මහා ඛේදවාචකයක් මේ සියල්ල වෙනස් කළා. දකුණු කොරියානු මගී ගුවන් යානයක් මඟ වැරදී සෝවියට් දේශයේ, සීමා කළ ගුවන් කලාපයකට ඇතුළු වීම නිසා සෝවියට් ප්‍රහාරක යානා මඟින් එය වෙඩි තබා බිම දැම්මා.. ඒකේ හිටපු සිවිල් වැසියන් 269 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා.. මේ නිසා නැවත කිසිදා මගී ගුවන් යානාවලට මඟ නොවැරදෙනු පිණිස එවකට ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් GPS තාක්ෂණය සිවිල් වැසියන්ගේ භාවිතය සඳහා විවෘත කිරීමට තීරණය කළා..
මුල් කාලයේදී මිලිටරි නොවන සිවිල් සංඥාවේ නිරවද්‍යතාව මීටර් 100ක් දක්වා හිතාමතාම අඩු කිරීමට මිලිටරිය පියවර ගත්තා. එය මුළුමනින්ම ඉවත් කර සිවිල් වැසියන්ටත් මිලිටරි මට්ටමේ ඉහළම නිරවද්‍යතාව ලබා දුන්නේ 2000 වසරේදී ජනාධිපති ක්ලින්ටන් විසින්. පසුව 2007 දී බුෂ් පරිපාලනය විසින් මින් ඉදිරියට කිසිදු දිනක සිවිල් සංඥා දුර්වල නොකරන බවට පොරොන්දු වුණා..
අද වන විටත් GPS සඳහා කිසිදු සේවා ගාස්තුවක් ලෝකයේ කිසිවෙකුගෙන් අය කරන්නේ නැහැ. ඕනෑම රටක, ඕනෑම කෙනෙක්ට නොමිලේම මේ සේවාව භාවිතා කරන්න පුලුවන්.. 2022 මුදල් වර්ෂයේදී පමණක් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය මේ සඳහා ඩොලර් බිලියන 2කට වඩා වෙන් කළ අතර, වාර්ෂිකව ඩොලර් බිලියන 1.8ත් 2ත් අතර මුදලක් ඇමරිකානු බදු මුදල්වලින් වැය කරන්නේ මේ පද්ධතිය යාවත්කාලීනව සහ සුරක්ෂිතව තබා ගැනීමටයි..
ඇමරිකාව මතම යැපීමට අකමැති නිසා යුරෝපා සංගමය, රුසියාව සහ චීනය තමන්ගේම පද්ධති හැදුවත්, අදටත් ලෝකයේ බහුතරයක් දෙනා “GPS” කියා පාවිච්චි කරන්නේ ඇමරිකානු බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් අභ්‍යවකාශයේ රඳවා තබා ඇති මේ අපූර්ව පොදු උපයෝගිතා සේවාවයි..
උපුටා ගැනීම : Dinith Maleesha
